ලංකා- පිලිපීන සිරකරු හුවමාරු ගිවිසුමක්


(අංජුල මහික වීරරත්න)

දඬුවමට නියම වූ තැනැත්තන් බාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ පිලිපීන ජන රජය අතර ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් වෙනත් රටක පුරවැසියකු වරදකරු කොට බන්ධනාගාරගත කිරීම සඳහා දඬුවම් නියම කරනු ලැබූ විට එම පුද්ගලයාගේ දඬුවම ඔහු පුරවැසියෙකු යැයි හිමිකම් පාන රට තුළ ගෙවා දැමීමට හැකි වන පරිදි වන විධිවිධාන 1995 අංක 5 දරන වරදකරුවන් භාර දීමේ පනතේ ඇතුළත්ව ඇත. 

එමෙන්ම, යම් නිශ්චිත රටකදී බන්ධනාගාර ගත කිරීමේ දණ්ඩනයකට ලක් කරනු ලැබූ ශ්‍රී ලංකාවේ පුරවැසියකු ඔහුගේ ඉතිරි දඬුවම් කාලය ගෙවා දැමිමට ආපසු ශ්‍රී ලංකාවට  ගෙන්වා ගැනීම සඳහා වන විධිවිධාන ද එකී පනතේ ඇතුළත්ව තිබේ.

 ඒ අනුව, ශ්‍රී ලංකාව සහ පිලිපීන ජන රජය අතර වරදකරුවන් බාර දීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත. යෝජිත ගිවිසුම මඟින් සිරකරුවන්ට සමාජීය පුනරුත්ථාපනය සහ සිය සමාජය සමග නැවත ඒකාබද්ධ වීම සඳහා සිය මව් රට වෙත පැමිණීමට අවකාශ ලැබෙනු ඇත.

 ඒ අනුව, යෝජිත ගිවිසුමට අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව එකී ගිවිසුම අපරානුමත කිරීමටත් අධිකරණ, සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.