රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ වැඩ නිමවන වේලාවටත් කලින් සේවකයන් අඟහරුවාදා (2) ඉදිරිපස කවුළුවලින් ඉවත්ව ගිය බව ලංකාදීප එසැණට වාර්තා විය.
තම තමන් බලා සිටියදීම සවස දෙක වන විට ඉදිරිපස කවුළුවලින් නිලධාරීන් ඉවත්ව ගිය බව එතැන සිට ලංකාදීප එසැණ ඇමතූ කිහිප දෙනෙක් පැවසූහ.
පසුව කළ විමසීමේදී තානාපති කාර්යාල නිලධාරියෙක් ද මේ බව තහවුරු කළේය.
නියමිත වේලාව වන තෙක් කවුළු විවෘත කැර තබන්නැයි ඉහළ නිලධාරිනිය පැවසුව ද එක් නිලධාරියකු එයට ඇහුම්කම් නොදුන් බව කියති.
උදෑසන නවයේ සිට සවස තුන වන තෙක් මහජන සේවය සඳහා කවුළු ඇර තැබිය යුතු වුවත් හදිසි අවශ්‍යතා මත සවස පහ වන තෙක් සේවය ලබා දිය යුතුයැයි නියමයක් ද ඇත.
මෙවැනි නිලධාරීන්ට විරුද්ධව ලැබෙන පැමිණිලි අනුව ඔවුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන් ක්‍රියා කරනා බවත්, පත්වන නව තානාපති ද දැනුවත් කරන බවත් විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පසුගියදා එසැණට කීවේය.