රෝම තානාපති කාර්යාලයට ගල් සහ මල්


රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සේවා ගැන නොසතුට පළ කිරීමේ උද්ඝෝෂණයක් ලබන 17 වැනිදා පැවැත්වීමට යයි.

රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙනියේ ධම්මාරාම හිමියන් කියනුයේ ඉතාලියේ ශ්‍රී ලාංකික එකමුතුව මේ උද්ඝෝෂණය කරන බවයි.

තානාපති කාර්යාලයෙන් ගිළිහී ගිය ජනතා සේවය හා කාර්යාලයයේ ඇතැයි කියන බෙදීම් නතර කර ගැනීම තම උත්සාහය බව ද ඒ හිමියෝ කියති.

ශ්‍රී ලාංකික එකමුතුවේ සම කැඳවුම්කරු නිෂාන්ත කරුණාරත්න මහතා කියනුයේ ශ්‍රී ලාංකිකයනට උපරිම සේවයක් ලැබුණු ඉරිදා සේවය දැන් නැති බවයි.

සයිප්‍රසය, ග්‍රීසිය හා මෝල්ටාව වැනි රටවල සිටින ශ්‍රී ලාංකිකයන් අසරණ වී ඇති බවත්, කොටි ක්‍රියාකාරකම් දැන් වැඩි වී ඇති බවත් ඒවා නතර කිරීමට තානාපති කාර්යාලයෙන් සේවයක් නොවන බවත් ඔහු කියයි.

රෝමයේ  පදිංචි වී සිටින ලෝරන්ස් කුරේරා මහතා කියනුයේ මේ උද්ඝෝෂණය රජය  හෝ ජනපති අපහසුවට පත් කරන දෙයක් නොවන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාලියේ ජාතික සංවිධායක ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා මෙසේ කියයි. ‘තානාපති අසිත පෙරේරා මහතාට එරෙහිව වෛරයක් ඇති පිරිසකුත් ඉන්නවා. ඔවුන් තානාපතිවරයාට විරුද්ධව ක්‍රියා කරන බව පේනවා. ‘

ජනතා විමුක්ති පෙරමුණේ රෝම කමිටුවේ කැදවුම්කරු සුදත් අධිකාරී මහතා කියනුයේ තානාපති කාර්යාලයට පසුගිය කාලයේ දේශපාලනය ඇතුළු කළත් වත්මන් තානාපති, තානාපති ගරුත්වය රැකගෙන කටයුතු කරන බවයි.

පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීමට බැරි වු පිරිස් ඉතාලියට අහිංසක මිනිසුන් ගෙන්වා එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 15ක් ගෙන අතරමං කළ පිරිස් අද එළියට බැස සිටිතියි ද ඔහු කියයි.

මේ සම්බන්ධයෙන් තානාපතිවරයා හෝ එහි වගකිවයුතු නිලධරයකු හෝ සම්බන්ධ කර ගැනීමට ගත් සියලු උත්සාහය  අසාර්ථක විය.