රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලියේ ශ්‍රී ලංකාවට 5 වැනි තැන


ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලියේ II වැනි කාණ්ඩයේ 5 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඔසවා තැබීමට ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් පිල නියෝජනය කරන උපාලි රාජකරුණා සහ ගාමිණි දිසානායක සමත්වූහ.

බී. එන්. පී. පරිබාස් බැංකුව විසින් අනුග‍්‍රහය දක්වනු ලබන රෝද පුටු ටෙනිස් ලෝක ශූරතා තරගාවලියේ අවසන් වටයේ තරගයකදී ජර්මන් පිල තරග වට 3-0 ක් ලෙස පරාජය කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානය අත්කරගත්තේය.

ජර්මනියට අමතරව ස්පාඤ්ඤය සහ ක්‍රෝෂියාවද මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජය විය. ශ්‍රී ලංකාව මෙම තරගාවලිය තුළදී පරාජය වී ඇත්තේ තරගාවලියේ ශූරතාව දිනූ  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම හමුවේ පමණි.

මේ මස 20 වැනිදා සිට 26 වැනිදා දක්වා තුර්කියේ ඇන්ටාලියාහිදී පැවති මෙම තරගාවලියේදී ජාතීන් 28 නියෝජනය කරමින් කණ්ඩායම් 52 ක් කාණ්ඩ 4 ක් යටතේ තරග කළහ.