තමා බස්නාහිර මහ ඇමැති ලෙස කටයුතු කරමින් ලත් ඇත්දැකීමෙන් උතුරු සංවර්ධනය කිරීමට මහ ඇමැති විග්නේෂ්වරන්ට සහාය දෙන බව උතුරේ නව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කියයි.
ඔහු මේ බව කියනුයේ දෙමල වෙබ් අඩවියකට ප්‍රකාශයක් ලබා දෙමිනි.
තමන් උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට පත් කිරීම පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හදවතින්ම ස්තූතිය පුදකරන බවද හෙතෙම කීවේය.
‘මගේ මුළු ජීවිතේ පුරාවටම කරන ලද දේශපාලනය ජාතික සමගිය සංහිදියාව වෙනුවෙන්මයි. හැම විටම ජාතිවාදය කුලවාදය ආගම්වාදයට විරුද්ධව වැඩ කරපු අයෙක් විදිහට උතුරු ආණ්ඩුකාරවරයා වශයෙන් කැප වී ජාතික සංහිදියාව ජාතික සමගිය ආගමික සංහිදියාව උදෙසාම කටයුතු කරනවා.‘
මධ්‍යම ආණ්ඩුවෙන් උතුරේ සංවර්ධනයට දුන් මුදලින් සියයට හතලිහක් පමණ විදයම් කර ඉතිරි සියයට 60ක් පමණ නැවත හරවා එවා ඇතැයි ද ඔහු කීවේය.
තමන් ජනාධිපතිවරයාගෙත්, ආණ්ඩුවේත් උතුරු පළාත සදහා වූ නියෝජිතයා බවත්, ජනාධිපතිවරයා ආගමික සංහිදියාව ජාතික සංහිදියාව උදෙසා කටයුතු කරන අයෙකු බවත් , ඔහු බලතල විමධ්‍යගත කිරීම පිළිබද සුබදායී ආකල්පයකින් පසුවන අයකු බවත්, එනිසා තම කාර්ය හරි හැටි කරගෙන යා හැකි වනු ඇති බවත් රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
දෙමළ භාෂාව කතා කරමින් යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කැපවන බව ද හෙතෙම දෙමළ බසින් කීවේය.
විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කීවේ නව ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාගේ පත්වීම ගැන තමා සතුට පළ කරන බවයි. ඔහු ප්‍රගති ශීලී පුද්ගලයකු බවත්, උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ද මෙම පත්වීමට එකඟත්වය පළ කර ඇතැයි ද සම්බන්දන් මහතා පැවසීය.

