රුසියාවෙන් ලංකාවට පොහොර ඉල්ලමක්


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරියා හා MOP පොහොර ලබා ගැනීම පහසු කර ගැනීමට රුසියා රජයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළ වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාවය මත හා දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරන පරිදි මෙම යුරියා හා MOP පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ රුසියා තානාපති රුසියානු තානාපති ලෙවාන් එස් සැගැරින් මහතා හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවය පළ වී තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරියා හා MOP පොහොර සැපයීමේ වැඩ පිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීම සඳහා  කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ද මෙහිදී රුසියානු තානාපතිවරයා සඳහන් කළේය.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට කීවෙි  මෙම කටයුතු ලබන මහ කන්නය ආරම්භයට පෙර අවසන් කිරීමටත්, ලබන මහ කන්නයේ දී යුරියා හා MOP පොහොර ගොවීන්ට ලබා දීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම ඉලක්ක කර ගනිමින් වැඩ කටයුතු ආරම්භ කරන ලෙසත්ය.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් යන මහත්ම මහත්මීහු මෙන්ම රජයේ   පොහොර සමාගම් දෙකේ සභාපතිවරු ද සහභාගී වී සිටියහ.