(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා රජය ඉදිරියේදී රුසියාවෙන් වට්ටම් සහිතව බොරතෙල් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ස්පුට්නික් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.
වර්තමානයේ ශ්‍රී ලංකාව රුසියාවෙන් බොරතෙල් සහ ස්වභාවික වායු මිලදී නොගත්තත් ඒ පිළිබඳ බලාපොරොත්තු ශ්‍රී ලංකාව අතහැර නොමැති බව බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දී තිබේ.
බොරතෙල් මිලදී ගැනීම පිළිබඳ සාකච්ඡා ශ්‍රී ලංකා බලධාරීන් සහ රුසියානු රජය අතර තවමත් අවසන් වී නොමැති බවත් එය සාර්ථකව අවසන් කිරීමට හැකි වුවහොත් දෙපාර්ශ්වයටම වාසි සහගත ගිවිසුමකට එළඹීමට බලාපොරොත්තු වන බවත් ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
බොරතෙල් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රුසියාවෙන් ඉල්ලු ණය පහසුකම ලබා ගැනීම සඳහා ආරම්භ කළ සාකච්ඡා තවමත් අවසන් වී නොමැති බවත් රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා ලියනගේ මහත්මිය රුසියානු රජය සමඟ ණය පහසුකම ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවත් ගුණවර්ධන මහතා පවසා තිබේ.
බටහිර සම්බාධක හේතුවෙන් රුසියානු නෞකා හෝ කාර්ය මණ්ඩල අත් අඩංගුවට ගැනීමක් ඉදිරියේදී සිදු නොවන බවට සහතිකයක් ශ්‍රී ලංකා රජය රුසියානු රජයට ලබා දී ඇතැයි ගුණවර්ධන මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව රසායනික පොහොර තහනම ඉවත් කර ඇති බවත් ගොවීන්ට දැරිය හැකි මිලකට වර්තමානයේ පොහොර අලෙවිය සිදුවන බවත් ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාව රුසියාවෙන් පොහොර මිලදී ගැනීමට සළකා බලමින් සිටින බවත් එය ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් වාසි සහගත බවත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.ඒ සඳහා ගෙවීම් විදෙස් සංචිත හිඟය හේතුවෙන් දේශීය මුදල් ඒකක වලින් සිදු කිරීමට බලාපොරොත්තුවන බව ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.
එසේම ශ්‍රී ලංකා රජය දුම්රිය එන්ජින්, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මැදිරි සහ අමතර කොටස් රුසියාවෙන් මිලදී ගැනීමට අදහස් කරන බවත් දුම්රිය එන්ජින් අළුත්වැඩියා කිරීම සහ අමතර කොටස් නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ විශේෂඥයින් රුසියාවේ පුහුණු කිරීම පිළිබඳව රුසියානු රජය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ගුණවර්ධන මහතා පෙන්වා දී තිබේ.

