රුසියන් යුවළ බේරන්න ගිය ජීවිත ආරක්ෂක නිළධාරීයා මරුට


(සුමිත් පොතුපිටිය )

කළුතර උතුර වස්කඩුව මුහුදේ අද (23)  දවල් දියනාමින් සිටියදී මුහුදේ ගහගෙන ගිය රුසියන් යුවලක් බේරාගැනීමට මුහුදට පැන්න හෝටල් ජීවිත ආරක්ෂක නිළධාරියෙකු මුහුදේ ගිලී මියගොස් ඇති බවත් මුහුදේ ගහගෙන ගිය රුසියන් යුවලක් ඇතුළු සිව්දෙනෙකු බේරාගැනීමට ප්‍රදේශයේ තරුණ පිරිසක් සමත්ව ඇති බවත්  කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ කළුතර උතුර සුමංගල පාරේ පදිංචිව සිටී ජී.ධනුෂ්ක ප්‍රියදර්ශන පෙරේරා  නමැති 36 හැව්රිදි දෙදරු පියෙකු බව පොලිසිය කීය.

මියගොස් ඇති තැනැත්තා වස්කඩුව මර්මේඩේ සංචාරක හෝටලයේ ජීවිත ආරක්ෂක නිළධාරීයෙක් ලෙස සේවය කරන බවද සදහන් වේ.

අද දහවල් රුසියන් යුවලක් මුහුදේ දියනාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර , එහිදී රුසියන් කාන්තාව හෙල්ප් හෙල්ප් යනුවෙන් උදව් ඉල්ලා කෑ ගසා ඇති බව අවට සිද්ධිය ඇසින් දුටූවන් පැවසීය.

එහිදී මියගොස් ඇති තැනැත්තා එක්වරම මුහුදට පැන පිහිනා යමින් සිටියදී ඔහුද සැඩ රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.

ඒ අනුව ක්‍රියාත්මකවූ හෝටලයේ තවත් සේවකයින් දෙදෙනෙකුද මුහුදට පැන  ඔවුන් දෙදෙනාද රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර , අවට තරුණයන් සිව්දෙනෙකු සහ තවත් හෝටලයේ සේවකයින් දෙදෙනෙකු එක්ව ජීවිත ආරක්ෂක නිළධාරීන් භාවිතා කරන් ලෝන්ග් එකක් සහ කඹයක් ආධාරයෙන් රුසියානු යුවල , හෝටලයේ සේවකයින් දෙදෙනා සහ මියගොස් ඇති තැනැත්තා ගොඩගෙන ඇති බව බේරාගැනීමට එක්වූ තරුණයන් පැවසීය.

ගොඩගන්නා මොහොතේ දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ මියගොස් ඇති තැනැත්තා හෝටලයේ ත්‍රීරෝද රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .