රුපියලේ අගය තවත් පහළට


හර්ෂණ තුෂාර සිල්වා

 

දේශපාලන අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ ඉතිහාසයේ පළමු වරට අද (15) එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 178 සීමාව ඉක්මවා ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 178.10ක් ලෙසත් ගැනුම් මිල 174.17ක් ලෙසත් දැක්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 13.2කින් අවප්‍රමාණය වී තිබෙන අතර ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතනයක් වන රෙෆිනිටිව් ඉකෝන් දත්තවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 14.4කින් අවප්‍රමාණය වී ඇත.

වත්මන් දේශපාලන අර්බුදය නිසා ඇති වී තිබෙන දේශපාලන අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමක් ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වාදෙති.

මේ අතර නොවැම්බර් 14 වැනිදා වන විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2ක් බවත් මේ වසර අවසන් වනවිට සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.8ක් වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ.

 

63226