රුපියල් 70 වතුර බෝතලය 200 වික්කාට ලක්ෂ පහක් දඩ


(රෝෂන් තුෂාර)

රුපියල් 70ක පානීය ජල බෝතලයක් රුපියල් 200කට අලෙවි කළ පෝට් සිටි වෙරළ තීරයේ වෙළෙඳසල් හිමිකරුවකුට රුපියල් ලක්ෂ 5ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද නියම කළාය.

රුපියල් 70 කට විකිණීමට තිබූ 500 mlක පානිය ජල බෝතලයක් රුපියල් 200කට අලෙවි කිරීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වීය.

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) සහ 68 වගන්ති සහ 2021 අංක 20 සංශෝධන පනතේ 60(4A) වගන්තිය යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙනා අධිකරණයට ඉදිරිපත් කරතිබිණ.

පාලන මිලට වඩා වැඩි මිලට වතුර බෝතල් විකිණීම වළක්වාලමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදී වැඩි මිලට වතුර බෝතල් විකුණන බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් එවැනි ස්ථාන පිළිබඳව වැටලීමට කඩිනමින් පියවර ගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.