දැනට ඇති රුපියල් විස්සේ ලොතරැයිපත්වලට අමතරව වැඩි තෑගි අවස්ථා සහිත රුපියල් 40 ක් වටිනා ලොතරැයිපත් ද හඳුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලොතරැයිපත රුපියල් 30 සිට රුපියල් 20ක් දක්වා යළි අඩුකරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම වෙනස්කිරීමේ හැකියාවක් තමන්ට නැතැයි ද මුදල් ඇමැතිවරයා කීවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) පාර්ලිමේන්තුව කල්තැබීම විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුනවර්ධන මහතා විසින් කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන ලද අතර ඔහු පැවසුවේ ලොතරැයිපතක මිල රුපියල් 20 සිට 30ක් දක්වා වැඩිකිරීමෙන් අලෙවිය අඩුවී අලෙවි නියෝජිතයන්ට මෙන්ම ලොතරැයි මණ්ඩලයට ද පාඩු සිදුවන බැවින් ජනාධිපතිවරයා නියෝග කළ පරිදි එය යළිත් රුපියල් 20ක් දක්වා අඩුකළ යුතු බවයි.

