හර්ෂණ තුෂාර සිල්වා
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප‍්‍රමාණය වෙමින් තිබෙන රුපියල අද (19) මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය.
මේ අනුව ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයට ගෙවන රුපියල් ප‍්‍රමාණය 167 සීමාව ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල 167.41ක් ලෙසත් ගැනුම් මිල 163.87ක් ලෙසත් සටහන්ව තිබිණි.
මහ බැංකුවේ දෛනික අනුපාත අනුව මේ සතිය ආරම්භයේදී එක්සත් ජනපද ඩොලයකට ගෙවන රුපියල් ප‍්‍රමාණය 165.14ක් විය. මේ අනුව ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද (19) වනවිට රුපියල් 2.27කින් දුර්වල වී තිබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1කින් අවප‍්‍රමාණය වී තිබේ.
බලපත‍්‍ර ලාභී වාණිජ බැංකු නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව බැංකු කිහිපයකම රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 169 ඉක්මවා තිබිණි.
රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල එච්.එස්.බී.සී. බැංකුවේ 170 ඉක්මවා තිබූ අතර කොමර්ෂල් බැංකුවේ සහ මහජන බැංකුවේ පිළිවෙළින් 169.50ක් හා 169.04ක් ලෙස සටහන්ව තිබිණි.
එන්.එස්.බී, එන්.ඩී.බී සහ සම්පත් යන බැංකු ති‍්‍රත්වයේම රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 168 ඉක්මවා තිබූ අතර ලංකා බැංකුවේ පමණක් 167.95ක් ලෙස දැක්විණි.
මේ වසර ආරම්භ වන විට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප‍්‍රමාණය 155.23ක් විය.
මෙරට දේශපාලනයේ තිබෙන අස්ථාවරත්වයට අමතරව විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ප‍්‍රතිපත්ති තීරණ, ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තිබෙන වෙළඳ යුද්ධය, තුර්කි මහ බැංකුව පොළී අනුපාත ඉහළ දැමීමට ගන්නා ලද තීරණය ආදී ගෝලීය සාධක රැසක් රුපියල මේ ආකාරයෙන් අවප‍්‍රමාණය වීමට හේතු වී තිබේ.
දේශීය වාණිජ බැංකු වුවමනාව ඉක්වමින් එක්සත් ජනපද ඩොලර් එක්රැස් කිරීම නිසා පසුගිය දිනවල රුපියලේ අගය අනවශ්‍ය පරිදි අඩු වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.