රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරෙයි


 

(බන්දුල ඉලේපෙරුම)

පාස්කු ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ බවට සැක කරමින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොයුරා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන ගැටලුවක් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මුලින් කී ප්‍රකාශ හා පසුව කළ ප්‍රකාශ පරස්පර බවත් මෙසේ සැකකටයුතු අයෙක් නම් නිදහස් කළේ ඇයි දැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (6) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සි‍ටියේය.

ඊට පිළිතුරු දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ බදියුදීන් මන්ත්‍රීවරයාගේ සොයුරා සැකකරුවකු පමණක් බවත් ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමක් කළ බවත් එහිදී සාක්කි අනාවරණය වී නැති බැවින් නිදහස් කර ඇති බවත්ය.

නමුත් මෙම පරීක්ෂණ අවසන්ව නැති බැවින් ඉදිරියටත් විමර්ශන සිදුකරන අතර නැවත සාක්කි ලැබෙන පරිදි ඔහු යළි අත්අඩංගුවට ගෙන වුවද පරීක්ෂණ සිදුකළ හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ වෙනම ඒකකයක් පත්කර පරීක්ෂණ කරන බැවින් දිගින් දිගටම මේ පිළිබඳ විමර්ශන සිදුවන බවත් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා දන්වා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටියේ රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් සාක්කි ඇතොත් අදම ලබාදෙන ලෙසයි. එවිට යළි නව මානයකින් ප්‍රශ්න කිරීම් සිදුකර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවද දන්වා සිටියේය. 

එසේම චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නවලට වැඩිදුරටත් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමඟ ආණ්ඩුවට කිසිදු සම්බන්ධයක් නැති බවයි.