ආසියානු ශූරතාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා පැවැති පැරණි වාර්තාව අභිබවා යමින් (මීටර 60.16) දස්කම් දැක්වූ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූරී නදීකා ලක්මාලි 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.
මෙම දස්කම සමගින් මොස්කව් නුරවරදී පැවත්වෙන ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියටද ඇය සුදුසුකම් ලබා ගත්තාය. හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් ඇය දිනගත් දෙවැනි අන්තර්ජාතික පදක්කම මෙයයි. 2007 වසරේ ජෝර්දානයේ අම්මාන් නුවරදී පැවැති මලල කී‍්‍රඩා තරගාවලියේදී ඇය මෙම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය.
ඉන්දියාවේ ”පූනේ” නගරයේදී පෙරේදා (6) ඇය රිදී පදක්කම දිනාගත්තේ නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවමිනි.
යුද හමුදා දෙවැනි කාන්තා බලකායේ සාජන් මේජර්වරියක්වන 31 හැවිරිදි නදීකා ලක්මාලි අත්දැකීම් සපිරි ක‍්‍රීඩිකාවකි. ඇය 2008 වසරේ බීජින් නුවරදී පැවති ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට ද සහභාගි වූවාය. මේ වසරේදී පැවැති (2013) ආසියානු ගෝන් ප‍්‍රී මලල ක‍්‍රීඩා තරගමාලාවේ අදියර තුනේදීම හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වේ ජයග‍්‍රහණය ලැබුවේද ඇයයි.
ෆින්ලන්තයේදී පැවැති නේවාසික පුහුණුවීම් පාඨමාලාවකට සහභාගි වීමෙන් පසුව ඇය පූනේ තරගාවලියට සහභාගි වූවාය. වසර 40 ක් වන ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවක් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ද මෙයයි. ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියකදී හෙල්ල විසිකිරීම කාන්තා හා පිරිමි ඉසව් දෙකෙන්ම ශ්‍රී ලංකාව පදක්කම් දිනාගත් පළමු අවස්ථාව ද මෙයයි.
නදීකාගේ මෙන්ම හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් සචිත් මධුරංගගේද පුහුණුකරුවා වන ඒ. ජේ. රොද්‍රිගු මහතාද පූනේ තරගාවලියට පැමිණ සිටියේය.
හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් රන් පදක්කම් දිනාගත් චීන ක‍්‍රීඩිකා ලී ලින්ග්වෙයි මීටර 60.65 ක දුරක් හෙල්ල විසි කර නව තරග වාර්තාවක් පිහිටුවීමටද සමත් වූවාය. ලෝකඩ පදක්කම ජපානයේ රීසා මියායිටා (මීටර 55.30) විසින් හිමිකර ගන්නා ලදි.
මෙම ඉසව්වට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ තවත් ක‍්‍රීඩිකාවක් වන දිල්හානි ලේකම්ගේ මීටර 50.98 ක දුරක් හෙල්ල විසිකරමින් අටවැනි ස්ථානයට පැමිණියාය.
මෙම ඉසව්වේ රන් පදක්කම කෙරෙහි වඩාත් විශ්වාසය පළකර තිබූ නදීකා ලක්මාලි දෙවැනි උත්සාහයේදී (මීටර 59.99) චීන ක‍්‍රීඩිකාවට (මීටර 57.71) වඩා ඉදිරියෙන් සිටියාය. එහෙත් ලක්මාලි මෙන්ම ජයග‍්‍රාහී චීන ක‍්‍රීඩිකාවද තෙවැනි පියවරෙදී සිය උපරිම දක්‍ෂතා දැක්වූහ.
ගාල්ල කහදූව මහවිදුහලේ ආදි සිසුවියක වන ලක්මාලි ජයග‍්‍රහණයෙන් පසු මාධ්‍යවේදීන්ට පැවසුවේ රන් පදක්කම අහිමිවීම පිළිබඳව දුකක් ඇති වුවත් තමාට ලෝක ශූරතාවලියට සහභාගිවීමේ අවස්ථාව උදාවීම ගැන වඩාත් සතුටුවන බවයි.
”රන් පදක්කම අහිමිවීම ගැන නම් දුකයි. නමුත් මම උපරිමය කළා. ක‍්‍රීඩාව කියන්නෙ ඕකයි. ජය මෙන්ම පරාජයත් විඳ දරා ගත යුතුයි”
”මගේ ජයග‍්‍රහණයට උදව් වුණේ පින්ලන්ත සංචාරයයි. ඊට සහයෝගය දක්වපු ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට කෘතගුණ දක්වන්න මෙය අවස්ථාවක් කර ගන්නවා” යැයි ද ඇය පැවසුවාය.
වසර 2006 කොළඹ පැවැති සාෆ් ක‍්‍රීඩා උළෙලේදීත් මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නදීකා සමත් වූවාය.
පූනේ ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව හෙල්ල විසි කිරීමේ ඉසව්වලින් ලබාගත් ජයග‍්‍රහණ නිසා ශ්‍රී ලංකාව සෙනසුරාදා වන විට පදක්කම් දිනාගත් රටවල් 20 ක් අතර 15 වැනි ස්ථානයේ පසුවිය. ශ්‍රී ලංකා ක‍්‍රීඩක සචිත් මධුරංග මීටර් 79.62 කට හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ රිදී පදක්කම පසුගිය සිකුරාදා (5) දිනා ගත්තේය.