රැඳවියෝ 50 ක් මාස 2 ක් හිරේ


(*** නිමන්ති රණසිංහ සහ ***ගම්පහ අධිකරණ - ටෝනි කරුණානායක)

මහර බන්ධනාගාර ගැටුමේදී එහි දේපොළවලට හානි කරමින් බන්ධනාගාර ආඥා පනතේ 71 වගන්තිය උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා හතරකට වරද පිළිගත් රැඳවියන් පනස්දෙනකුට ගම්පහ දිසා විනිසුරු රවීන්ද්‍ර රන්ජන් බණ්ඩාර මහතා මාස දෙක බැගින් වූ සිරදඬුවම් ඊයේ (26) නියම කළේය.

බන්ධනාගාර ආඥා පනතේ 71 වන වගන්තියට අනුව කැරැලි ගැසීම, දේපොළවලට හානි කිරීම, සිරගෙදරින් පැන යාමට උත්සාහ දැරීම, සිරකරුවකු ලෙස රඳවා සිටියදී පිටතට පැමිණීම යන චෝදනා හතරකට තමන් වරද පිළිගන්නා බවට රැඳවියන් 50 දෙනා සඳහන් කිරීම හේතුවෙන් මෙම දඬුවම නියම කර තිබේ.

ගම්පහ දිසා විනිසුරු රවීන්ද්‍ර රන්ජන් බණ්ඩාර මහතා ඊයේ (26) බන්ධනාගාරයට ගොස් මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රැඳවියන් 50 දෙනකු වරද පිළිගෙන ඇති අතර ඉදිරිපත් කර තිබූ චෝදනාවලට තමන් නිවැරැදිකරුවන් බව රැඳවියන් 12 දෙනකු සඳහන් කර ඇත.

ඒ අනුව එම රැඳවියන් 12 දෙනා සම්බන්ධ වැඩිදුර විභාගය ලබන 8 වැනිදා තෙක් කල් තැබූ විනිසුරුවරයා එතෙක් එම රැඳවියන් මෙම සිද්ධියට අදාළව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

බන්ධ විනිශ්චය මණ්ඩලය විසින් බන්ධනාගාර ආඥා පනතේ 71 වන වගන්තියට අනුව චෝදනා ගොනු කරමින් රැඳවියන් හැටදෙදෙනකුට නඩු පවරනු ලැබ තිබූ අතර, ඉන් 50 දෙනෙක් චෝදනාවලට වරද පිළිගත්හ.

මෙම සිද්ධියට මුහුණ දුන් සහ සිද්ධිය ඇසින් දුටු සැකකරුවන්ගෙන් සහ බන්ධනාගාර නිලධාරීන්ගෙන් ලද ප්‍රකාශ මත මෙම සැකකරුවන් හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර විනය අංශය විසින් බවත් පසුව, ඔවුන් බන්ධ විනිශ්චය මණ්ඩලයට යොමු කිරීමෙන් පසුව මෙසේ නඩු පවරා ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවැසීය.

මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනයට අදාළව සැකකරුවන් 25 දෙනකු හඳුනාගෙන ඇති බවත් එම සැකකරුවන් ඇතුළුව සිද්ධියට අදාළ සැකකරුවන්ගේ නාම ලේඛනයක් එම දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවත් බන්ධනාගාර මූලස්ථානයෙන් වාර්තා වී තිබේ.

මෙම බන්ධනාගාර කැරැල්ල මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි සාමාජිකයන් කිහිපදෙනකු බවට හඳුනාගෙන ඇති බව ද බන්ධනාගාරය සඳහන් කරයි.
මහර බන්ධනාගාර ගැටුමෙන් එහි සියලු ගොඩනැගිලිවලට දැඩි ලෙස හානි සිදු වූ අතර තක්සේරු දෙපාර්තමේන්තුව ලබා දී ඇති වාර්තාවට අනුව එහි හානිය රුපියල් කෝටි 6කට අධික බව ද බන්ධනාගාර මූලස්ථානය පවසයි.

ඉකුත් 2020 වසරේ නොවැම්බර් මස 29 වැනිදා ඇති වූ මෙම ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාම මියගොස් තිබුණේ වෙඩි වැදීමෙන් බවට මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉකුත්දා කරුණු අනාවරණය විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගත් සැකකාර රැඳවියන් 111 දෙනා අතුරින් මුල් අවස්ථාවේදී නඩු පවරා ඇත්තේ හැටදෙදෙනකුට වන අතර ඉතිරි 49 දෙනාට ඉදිරියේදී බන්ධ විනිශ්චය මණ්ඩලය මගින් නඩු ගොනු කෙරෙනු ඇතැයි ද බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.