රැකියාව අහිමි කළැයි වහලය මත නැඟ සත්‍යග්‍රහයක


 
( ඔගස්ටීන් ප්‍රනාන්දු සහ ලලිත් නවරත්න)
 
ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ වසර හතරක සේවාකාලයෙන් පසු සේවා තහනමකට ලක්වූ කම්කරුවෙකු අද (15) පස්වරුවේ එම ප‍්‍රාදේශීය සභා භූමියේ ඇති අඩි අසූවක් උසැති ජලටැංකිය මත නැග උපවාසයක් ආරම්භ කළේය.
 
මෙසේ උපවාසයේ නිරතවූයේ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවෙකු ලෙස වසර 4ක් සේවය කළ දැනට වැඩතහනමකට ලක්ව සිටින ආරච්චිකට්ටුව පදිංචි ආර්ග සුනිල් ශාන්ත නැමති දෙදරු පියෙකි.
 
තමන්ට සිදු වු අසාධාරණය ගැන ඔහු මෙසේ සඳහන් කළේය.
 
මම මේ ප‍්‍රාදේශීය සභාවේ වසර 4ක් සේවය කළා.  අපේ උත්සව අවස්ථාවක් වෙලාවේ ලේකම්තුමා සමග වචන හුවමාරුවක් සිදුවුනා.   වැරදි හැසිරීම ඇතුලූ තවත් හේතු ගනනාවක් දාලා ලේකම්වරයා මගේ වැඩ තහනම් කලා.මමත් බිරිදත් දරුවන් දෙදෙනාත් ජීවත්වන්නේ අමාරුවෙන් අමාරුවෙන්  දරුවෝ පාසල් යනවා. ස්ථීර රැකියාවක් නෑ. මම වරදක් කළානම්මාව දොට්ට දැම්මා නම්ලේකම් වරයාත් අයින්වෙන්න  ඕනා හැමෝටම නීතිය පොදු වෙන්න  ඕනා.
 
 
මෙම අවස්ථාවේ ලේකම්වරයා ප‍්‍රාදේශීය සභාවේ නොසිටි අතර එම ස්ථානයට පැමිණි ආරච්චිකට්ටුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතා උපවාසකරු ජලටැංකිය මතින් බස්සවා ගැනීමට මහත් පරිශ‍්‍රමයක් දැරුවත් එය ව්‍යර්ථ විය.  ප. ව 5. 30 වන විටත් ඔහු සත්‍යග‍්‍රයේ නිරතව සිටියේය.