
(දසුන් රාජපක්ෂ)
නාවික හමුදා කමාන්ඩර් සුමිත් රණසිංහ කර තිබෙන පැමිණිල්ලෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ නම ඉවත් කරගන්නා ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද (5) දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටියහ.
එම පැමිණිල්ලට අදාළව රාජිත සේනාරත්න මහතා වගඋත්තරකාරයකු කර තිබෙන්නේ සාක්ෂි සහිතව නොව මාධ්‍යවල සඳහන් වූ ප්‍රකාශ අනුව බව රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරුන් අද කොමිසමට දැනුම් දුන්නේය.
නිශ්චිත සාක්ෂියක් නොමැතිව තම සේවාදායකයා වගඋත්තරකාරයකු ලෙස නම් කිරීමට නොහැකි බව එම නීතිඥවරු කොමිසමට දන්වා සිටියේය.
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට මාගේ නම සඳහන් කර රිමාන්ඩ් බාරයට පත් කළේ දේශපාලනිකව පළිගැනීමට බව නාවික හමුදා කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා මෙම කොමිසමට පැමිණිලි කර තිබෙන අතර එහි වගඋත්තරකරුවකු ලෙස රාජිත සේනාරත්න මහතා නම්කර තිබිණි.
වගඋත්තරකාර පාර්ශවයෙන් රාජිත සේනාරත්න මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර ඉදිරියේ දී දැනුම් දෙන බව කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා දන්වා සිටියේය.

