රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් අරී


උපුල් තම්මිට       
 
 
අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ ජල මට්ටම පාලනය කිරීම සඳහා අද (7) උදෑසන රාජාංගනය ජලාශයේ දොරටු දෙකක් අඩි එක බැගින් විවෘත කිරීමට වාරිමාර්ග නිලධාරින් පියවර ගෙන තිබේ.
 
රාජාංගනය ජලාශයට  වඩා වැඩි වර්ෂාපතනයක් වැවේ පෝෂිත කලාපයට ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව රාජංගනය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ලසිත හේමාල් මහතා පැවසීය. 
 
රාජාංගනය ජලාශයේ මුළු ධාරිතාව අක්කර අඩි අසූඑක් දහස් හයසියක් වන අතර අද (7) උදෑසන වනවිට අක්කර අඩි හැත්තෑහත්දහස් තුන්සිය දහය දක්වා ඉහළ ගොස් තිබූ අතර මේවන විට විවෘත කළ ගේට්ටු දෙක අතරින් තත්පරයට ඝන අඩි හයසිය විසි‍දෙකක ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහරින බැවින් කලා ඔය දෙපස පදිංචි ජනතාව  අවධානයෙන් සිටින ලෙස රාජාංගනය වාරිමාර්ග ඉංජිනේරුවරයා ඉල්ලා සිටියි.
 
ඉදිරි දිනවලදී වර්ෂාව තවදුරටත් පැවතිය හොත් ගේට්ටු වැඩි වැඩි ප්‍රමාණයක් විවෘත කිරිමට සිදුවනු ඇතැයි ද ඒ මහතා සඳහන් කර සිටියි.