රාජ්‍ය සේවා කොමිසමෙන් කැකිල්ලේ තීන්දුවක්


කොළඹ රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනියගේ ස්ථානමාරුව අසාධාරණ බව තීරණය කළ පරිපාලන විනිශ්චය සභාව ඇය යළි එම විදුහලේ එම තනතුරට පත් කරන්නැයි අට මාසයකට පෙර දුන් නියෝගය රාජ්‍ය සේවා කොමිසමෙන් පැහැර හැර ඇත.

2012 මාර්තු 12 වැනි දින   ජේ එස් ජයවීර නියෝජ්‍ය විදුහල්පතිනියගේ  පැමිණිල්ලක් අනුව එම විභාග කළ  පරිපාලන විනිශ්ච සභාවේ විනිසුරු එන් ඊ දිසානායක සහ විනිසුරු එඩ්මන්ඩ් ජයසූරිය මහත්වරු  පසුගිය වසරේ අගෝස්තු 12 වැනිදා එහි තීන්දුව දුන්හ.

ඔවුන්ගේ තීන්දුවෙන් කියවෙනුයේ රාජ්‍ය සේවා කොමිසම අභියාචන කාරිය වන නියෝජ්‍ය විදුහල්පතිනියට වූ අසාධාරණය ගැන ඇහැක් කනක් ඇර නොබැලූ බවයි.

 දැනට කොළඹ තර්ස්ටන් විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස කටයුතු කරන ඇගේ  මාරු කිරීම අවලංගු කර යළි රාජකීය විද්‍යාලයේ එම තනතුරට පත් කරන ලෙසත්, පරිපාලන විනිශ්ච සභා තීන්දුව ක්‍රියාත්මක කරන ලෙසත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට ද නියමිතය.

විනය පිළිබඳ ක්‍රියා කළ යුතු රාජ්‍ය සේවා කොමිසම  ගුරුවරු දෙදෙනකුගේ විෂමාචාර සම්බන්ධ කළ පැමිණිල්ල ගැන අන්ධයන් සේ ක්‍රියා කර ඇති බවත්, විදුහලේ ප්‍රධානියකු හා ගුරුවරියක අතර පැවති ආචාර සම්පන්න නොවන හැසිරීම් ගැනත්, ගුරුවරුන් කල්ලිවලට බෙදීමට මුල්වූ ගුරුවරුයකු ගැනත්, පාසලේ අයහපත් පාලනය ගැනත් සාක්කි ඉදිරිපත් වූ බවත් එම තීන්දුවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් පැවති විනය පරීක්ෂණයේදී රාජ්‍ය සේවා කොමිසම කර ඇත්තේ නියෝජ්‍ය විදුහල්පතිනයට ක්‍රියාකිරීම පමණක්  බවත්, අනෙක් ගුරුවරු ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පැමිණිලිකාරියට දඩුවම් කර ඇති බවත් සඳහන් කරන එම තීන්දුව රාජ්‍ය සේවා කොමිසමේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කරයි.