රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක් එයි


(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පතක් සැකසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රජය සතු ව්‍යාපාරික සමාගම් මනා කළමනාකාරිත්වයක් ඇතිව හා අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත නමින් නව පනතක් හඳුන්වා දීමටත්, එකී නව පනත කෙටුම්පත් කිරීම සඳහා පිළියෙල කර තිබූ මූලික කෙටුම්පත සමාලෝචනය කරමින් යෝග්‍ය සංශෝධන ඇතුළත් කර තව දුරටත් එකී කෙටුම්පත වැඩි දියුණු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීමටත් 2025-04-28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

එකී අමාත්‍ය මණ්ඩල කමිටුව විසින් මූලික කෙටුම්පත සමාලෝචනය කර, සිය නිර්දේශ ඇතුළත් කමිටු වාර්තාව ඉදිරිපත් කර ඇත. 

ඒ අනුව, එම වාර්තාවේ නිර්දේශ මත පදනම්ව, රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.