රාජ්‍ය බුද්ධි අංශය ප්‍රමුඛත්වය දුන්නේ වෙන දේවල්වලට


(මුදිතා දයානන්ද)

දේශපාලන හේතූන් මත 2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළියට මාස කිහිපයකට පෙර සිටම රාජ්‍ය බුද්ධි අංශය ජාතික ආරක්ෂවට වඩා ප්‍රමුඛත්වය දුන්නේ වෙන වෙන දේවල්වලට යැයි හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (29) පැවසීය.  ඔහු මේ බව පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.
 
මෙරට තුළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුලු පිරිසක් විසින් ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වන බවට විදෙස් බුද්ධි අංශයකින් ලැබුණ තොරතුර හැරෙන්නට මෙරට රාජ්‍ය බුද්ධි අංශය එය තහවුරු කළ හැකි කිසිඳු බුද්ධි තොරතුරක් සොයා නොගත් බවද ඔහු පැවසීය. රාජ්‍ය බුද්ධි සේවය හැම විටම අයි. එස්. සංවිධානය විදෙස් රටවල කරන දේවල් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රචාරයන් ගැනත්, වෙනත් රටවල සිදුවීම් ගැනත් වාර්තා ඉදිරිපත් කළා මිස සහරාන් හෂීම්ලාගේ මෙරට ක්‍රියාකාරකම් ගැන කිසිම තොරතුරක් සොයා නොගත් බවද ඔහු පැවසීය.
 
එහිදි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර විදෙස් බුද්ධි අංශයකින් තොරතුරක් නොලැබුණේ නම් රාජ්‍ය බුද්ධි සේවය කිසිවක් නොදැනම පිපිරීම වෙන්න තිබුණා නේද යනුවෙන් කොමිසම විමසා සිටියේය. එයට පිළිතුරු දෙමින් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ එසේ විය හැකිව තිබූ බවය

රාජ්‍ය සේවයේ වගකීම තොරතුරු හුවමාරු කරගැනීම හා වාර්තා කිරීම පමණක් නොව ඒවා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමක්ද ඔවුන් සතුව ඇති බවද ඔහු පැවසීය. පාස්කු ඉරුදින ප්‍රහාරය අයි එස් මතවාදය කළ බලපෑමෙන් සිදුවූවක්මද යන ප්‍රශ්නයක් ද එසේම වෙනත් බලවේගයක් විසින් ඔවුන් මෙහෙයවූවාද නැතහොත් කිසිවෙකුගේ පෙළඹවිම මත සිදුකළාද යන ප්‍රශ්නයක් ඇති බවද ඔහු පැවසීය.

සහරාන් හෂීම් සිය බිරිඳ සමඟ 2019 මාර්තු මාසයේදී වෛද්‍යවරයෙකු හමුවී තවත් දරුවෙකු හදාගැනීම සම්බන්ධයෙන් පවුල් සැලසුම් උපදෙස් ලබාගෙන ඇති බවට තමන්ට පුද්ගලිකව තොරතුරක් ලැබී තිබූ බවද එවැනි සූදානමක සිටින්නෙක් මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකරනු ඇතැයි තමන්ට විශ්වාස කළ නොහැකි බවද ජයසුන්දර මහතා පැවසීය.