රාජ්‍ය පොසොන් උත්සවය ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්


රාජ්‍ය පොසොන් උළෙලට

රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බවට විවිධ පාර්ශ්වයන් ගෙන යන චෝදනා මුළුමනින් සාවද්‍ය බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රජයේ අමාත්‍යාංශ දෙකක් සහ එක් දෙපාර්තමේන්තුවක් මගින් පමණක් රුපියල් ලක්ෂ 288ක මුදලක් මේ වන විටත් පොසොන් උත්සවයට වෙන් කර අවසන් බව ජනාධිපති කාර්යාලය කියයි.

ජනාධිපති කාර්යාලය සිය නිවේදනයෙන් මෙසේද පවසයි.

1963 වර්ෂයේ දී රංජිත් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව එවකට ලේක්හවුස් සමාගම විසින්  සිය ආගමික හා සමාජ මෙහෙවර වෙනුවෙන් ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කර ඇත. එතැන් සිට වාර්ෂිකව පුරා වසර 59ක් ආලෝක පූජාවට, සති පිරිතට, පෙරහරට සහ චෛත්‍ය පින්තාරු කිරීම සඳහා මූල්‍යාධාර ලබාදීම සිදු කර තිබේ.

මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මිහින්තලා පොසොන් පෙරහර සඳහා පමණක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා මඟින් රුපියල් ලක්ෂ 170ක ඇස්තමේන්තුවක් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබිණි.

නමුත් අමාත්‍යාංශ ලේකම්  සෝමරත්න විදානපතිරණ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ රටේ පැවති ආර්ථික දුෂ්කරතා හමුවේ පනවනු ලැබූ නව මූල්‍ය රෙගුලාසි අනුව එතරම් විශාල මුදලක් වෙන් කිරීමට නොහැකි බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු සම්මත වැය ශීර්ෂයට අනුව 2023 පොසොන් මිහිඳු පෙරහර සඳහා රුපියල් ලක්ෂ 31ක මුදලක් ලබාදීමට අනුමැතිය ලැබී ඇති බවත්ය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක මහතා සඳහන් කර සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතියට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවයේ වියදම් දැරීම සඳහා රුපියල් ලක්ෂ 100ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිදහස් කිරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි.

ජාතික පොසොන් උත්සවයේ පානීය ජල අවශ්‍යතාව සහ සනීපාරක්ෂක ජල අවශ්‍යතාව වෙනුවෙන් ජලය ඝන මීටර් 30,000ක් සැපයීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එකඟත්වය පළ කර ඇත. එහිදී පොම්ප සවි කිරීම, දන්සල් කලාප සඳහා ජල නළ දීර්ඝ කිරීම, අනුරාධපුර පූජා නගරය, මිහින්තලය හා තන්තිරිමලය පුදබිම් අවට ජල කරාම 400ක් ස්ථාපනය, ජල බවුසර් මගින් ජලය සැපයීම, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා මගින් ඉදිකරන තාවකාලික වැසිකිළි පද්ධති සඳහා ජල නළ දීර්ඝ කර ජලය සැපයීම, බැතිමතුන් සහ සිල්සමාදන් වන සැදැහැවතුන් එකතුවන ස්ථාන සඳහා ජල ටැංකි සහ කරාම පද්ධති ස්ථාපිත කිරීම හා මිහිඳු පෙරහරෙහි ගමන් කරන අලි ඇතුන් සඳහා පෙරහර මාර්ගයේ ඇති යකඩ ටැංකි සඳහා ජලය සැපයීම ආදී කාර්යයන් වෙනුවෙන් වැට් රහිතව රුපියල් ලක්ෂ 157ක මුදලක් ආයතනිකව දැරීමට කටයුතු කරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා තහවුරු කළේය.

එමෙන්ම මිහින්තලය, තන්තිරිමලේ, සඳ හිරු සෑය ඇතුළත් අනුරාධපුර පොසොන් කලාපය  ඉදිකිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් යොදවා ඇති බව  ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අනුව පෙනී යන්නේ රජයේ අමාත්‍යාංශ 02ක් සහ එක් දෙපාර්තමේන්තුවක් මගින් පමණක් රුපියල් මිලියන 28.8ක මුදලක් (රුපියල් ලක්ෂ 288ක්)  මිහින්තලා පොසොන් වැඩසටහන් වෙනුවෙන් ලබා දී ඇති බවයි.

එවැනි පසුබිමක 2023 වසරේ රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහින්තලා පුද බිම මූලික කර ගනිමින් පැවැත්වෙන පොසොන් වැඩසටහන් සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බවට විවිධ පාර්ශ්වයන් ගෙන යන චෝදනා මුළුමනින්ම සාවද්‍ය සහ පදනම් විරහිත බව තහවුරු වේ.