(අංජුල මහික වීරරත්න)
ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රජයේ නිලධරයන්ගේ නිවාඩු සම්බන්ධයෙන් විධි විධාන ආයතන සංග්‍රහයේ 1 වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ඡේදයේ ඇතුළත් වේ.
දිවයිනෙන් බැහැරව නිවාඩුවක් ගත කර පැමිණ මාස 9ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කිරීමට පෙර නැවත දිවයිනෙන් බැහැර නිවාඩුවක් ඉල්ලුම් කරන රජයේ නිලධරයකුට ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 8:5 උප වගන්තියේ විධිවිධාන අනුව නිවාඩු ලබා දිය හැක්කේ එම වර්ෂයට අදාළ විවේක නිවාඩු කිසිවක් ඒ වන විට ලබා ගෙන නොමැති නම් පමණි.
එකී විධිවිධාන අනුව යම් නිලධාරියෙකුට එක් ලිත් වර්ෂයක් තුළදී පෞද්ගලික කාරණ සඳහා විදේශගතවීමට හැකියාව පවතිනුයේ උපරිම වශයෙන් දෙවතාවක් පමණි.
වර්තමානයේදී රජයේ නිලධරයන් රාජකාරි අවශ්‍යතා සඳහා මෙන්ම, පෞද්ගලික අවශ්‍යතා සඳහා ද කෙටිකාලීනව විදේශගත වන බැවින් ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ඡේදයේ 8.5 උප වගන්තියේ විධිවිධාන අනුව කටයුතු කිරීමේදී විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදු වන බව නිරීක්ෂණය වේ.
එබැවින්, මෙ රටින් බැහැරව ගත කරන නිවාඩුවකින් පසු රාජකාරියට වාර්තා කළ නිලධරයෙකු, එම වර්ෂයේදීම නැවත වරක් විදේශ නිවාඩු ලබා ගැනීමට අදහස් කරන විට එම නිලධරයාට එසේ නිවාඩු ලබාගන්නා වර්ෂයට හිමි ඉතිරි විවේක නිවාඩු ලබා ගැනීමට හැකි වන පරිදි ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.