(විමුක්ති එස් රුද්‍රිගු)
රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
පසුගිය මැයි මාසයේදී පමණක් රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 486කි.
මෙම වසරේ පළමු මාස 5 තුළ රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 2 කට ආසන්න බවත් පසුගිය වසරේ රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 4ක් බවත් මහ බැංකු දත්ත වාර්තාවල සඳහන් වේ.
මහ බැංකුව නිකුත් කළ දත්තවාර්තාවලට අනුව මෙම වසරේ පළමු මාස 5 තුළ රජයට ලැබුණු බදු ආදායමේ හා ප්‍රදානයන්ගේ එකතුව රුපියල් බිලියන 1942 ක් වන අතර පසුගිය වසරේ පළමු මාස 5 තුළ රජයේ සමස්ත ආදායම වූ රුපියල් බිලියන 1619 ට සාපේක්ෂව එය සියයට 20ක වර්ධනයකි.
එම දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ පළමු මාස 5 තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1802 කි. පසුගිය මැයි මාසයේ රජයේ සමස්ත ආදායම වූ රුපියල් බිලියන 486 මෙම වසරේදී මසක් තුළ රජය ඉපැයූ ඉහළම සමස්ත ආදායම බවත් පසුගිය මැයි මාසයට පෙර මෙම වසරේදී රජය වැඩිම සමස්ත ආදායමක් උපයා තිබුනේ පසුගිය පෙබරවාරි මාසයේ බවත් මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
එසේම මාර්තු මාසයේදී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 306 ක් බවත් අප්‍රේල් මාසයේදී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 387 ක් බවත් මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
2023 වසරේදී රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 3 ක් වූ අතර පසුගිය වසරේදී එය රුපියල් ට්‍රිලියන 4 දක්වා වර්ධනය විය. ලබා ඇති ප්‍රගතිය අඛන්ඩව පවත්වා ගතහොත් මෙම වසරේදී රජයේ සමස්ත අදායම රුපියල් ට්‍රිලියන 4 පසුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.