රාජපක්ෂ දෙපළකට මුල් පුටු දෙකක්


(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ සභාපති ලෙසත් පත් කරනු ලැබ සිටිති.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙස පත්වීමට ලැබීම ගෞරවයක් බවයි.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පත් කරනු ලැබ සිටී. ඔහු රාජ්‍ය පරිපාලනය, විගණනය ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය ආදායම් කළමනාකරණය සම්බන්ධයෙන් වසර විසිපහකට ආසන්න පළපුරුද්දක් සහිත වෘත්තිකයෙකි.

මේ අතර බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති ලෙස නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාද , භාණ්ඩ හා සේවා අපනයනය ඉහළ නැංවීම සම්බන්ධ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති ලෙස බුද්ධික පතිරණ මහතාද පත් කරනු ලැබ සිටිති.