රාජතාන්ත්‍රික පුහුණුව ගැන මාලදිවයින සමඟ ගිවිසුමක්


(අංජුල මහික වීරරත්න)
මාලදිවයින් ජන රජයේ විදේශ සේවා ආයතනය සමඟ රාජ්‍යතාන්ත්‍රික පුහුණුව සහ තොරතුරු හා ලේඛන හුවමාරුව සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විදේශ සේවයේ නිලධාරින් පුහුණු කිරීම සඳහා ස්ථාපිත කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ මාලදිවයිනේ විදේශ සේවා ආයතනය අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ අවබෝධය වැඩි දියුණු කිරීම අරමුණු කරමින් අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී තිබේ. 
එමඟින්, අධ්‍යයන වැඩසටහන් හා අනෙකුත් අධ්‍යයන කටයුතු පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම, විද්වතුන්, සම්මන්ත්‍රණ සඳහා සම්පත් දායකයින් හා පොදුවේ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල විශේෂඥයින් හුවමාරු කර ගැනීම, දෙරට විසින් පිරිනමනු ලබන පුහුණුවීම් සඳහා සහභාගිවීමට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට අවස්ථාව සලසාදීම සහ කොළඹ හා මාලේ යන නගරවලදී පාඨමාලා හා සම්මන්ත්‍රණ සංවිධානය කිරීම අපේක්ෂා කරනු ලබයි.