රාගමින් හමුවූ මොටර් රථය සහ ගිනි අවිය ගැන තොරතුරු එළියට


(ගයාන් සූරිය ආරච්චි)

රාගම, කිරිමැටියාන ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ ටී 56 වර්ගයේ ගිනි අවියක් දමා ගොස් ඇත්තේ දැනට විදේශ රටක සැඟව සිටින දික්පිටිගොඩ ලහිරු නැමත්තාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඝාතනය කිරීම සඳහා බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

එම මෝටර් රථය රාගම කිරි මැටියාන ප්‍රදේශයේ දමාගිය එහි රියදුරු වශයෙන් කටයුතු කළ සැකකරුවෙක් හෙරොයින් ග්‍රෑම් 11 ක් සහ මිලිග්‍රෑම් 65 ක් සමග කිරිබත්ගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 37 පුද්ගලයෙකි.

රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ බස්නාහිර උතුර විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට සැකකරු මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන පොතුපිටිය කංකානම්ගේ ප්‍රසිත් දිනුක නොහොත් දික්පිටිගොඩ ලහිරු නැමත්තාගේ ගෝලයකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

එම ඝාතනය සඳහා මෝටර් රථයේ රියදුරු සමග වෙඩික්කරුද එදින පැමිණ තිබූ අතර වෙඩික්කරු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් ඔහු වෙඩි තැබීමට නොහැකි තත්ත්වයක පසු වී තිබූ බවත් අනතුරුව සංවිධානාත්මක අපරාධකරුවකු වන දික්පිටිගොඩ ලහිරු නැමත්තාගේ උපදෙස් පරිදි මෝටර් රථය සහ ටී පනස් හය වර්ගයේ ගිනි අවිය එම ප්‍රදේශයේ දමා ගොස් තිබූ බව පොලිසිය පවසයි.