රහස් පොලීසිය නීතිපති උපදෙස් ඉල්ලයි


කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ පරීක්ෂණවල උදෘත නීතිපති උපදෙස් සඳහා යොමු කළ බව රහස් පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන සහ සැරයන් සොමරත්න මහත්වරු මහර වැඩ බලන මහේස්ත්‍රාත් විරංගා කනංකේ මහත්මියට අද දැන්වූවාය.

ඝාතනය සඳහා යොදා ගත් බව කියන ගිනි අවිය ගැන   පරීක්ෂණ පවත්වන බව ද රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

නඩුවේ පළමු සහ දෙවැනි සැකකරුවන් වෙන්වෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලා සිටියේ ඝාතනයට ඔත්තු බැලූ බව කියමින් අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රිය මුදා හරින ලෙසයි. එවිට වැඩබලන මහේස්ත්‍රාත්වරිය පැවසුවේ තමාට එය සිදු කළ නොහැකි බවයි. ඊළඟ නඩු දිනයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ එම ඉල්ලීම කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාවරිය පැවසුවාය.

සූජීව රංග කුමාර පෙරේරා, අයේෂ් චතුරංග වීරසේකර සහ අශෝක හේමන්ත පෙරේරා යන සැකකරුවෝ මැයි 2 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.

නඩුවේ රජයේ සාක්කිකාරයන් වීම නිසා ඇප මත මුදා හළ සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පුරු සරත් සහ ඩබ් පී සමන් නිෂාමන් ද අද අධිකරණයේ පෙනී සිටියහ. ඔවුහු ඇමැති මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුය.

මැයි 2 නැවත නඩුව කැඳවීමට නියමිතය.