අතීතයේ බුදුන් දවස රහතන් වහන්සේලා වැඩසිටි කන්නේරි ගල් ගුහා 109 පිළිබඳව ලංකාදීප පලකළ වාර්තාවත් සමග ශ්‍රී ලාංකික සංචාරකයින් පෙරට වඩා වැඩි පිරිසක් එම පුජනිය ස්ථානය දැකබලා ගැනීමට පැමිණෙන බව එහි පාලකයෝ පැවැසූහ.
ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමඟ අප නැවත වතාවක් රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශය ලැබූ කන්නේරි ගල් ගුහා වෙත ගියෙමු. ගල් ගුහා 109 අතර අතීතයේ රහතන් වහන්සේලා එක්කාසුවී ධර්ම සාකච්ඡා කළ විශාල ගල් ගුහා තුනකි. කදු මුදුනේ ඇති ධර්මශාලාව වෙත අප ලඟා වනවිට ඒ තුලින් මිහිරි බටනලා හඩක් ඇසුණි. ගල් පඩිය මත මනාව හිදගත් තරුණයෙක් මිහිරි ලෙස බටනලාව වයයි. කැමරාවේ ඇති සීමිත මතක ධාරිතාවෙන් උපරිම ප්‍රයෝජන ගත් අප තත්පර කිහිපයක් එම සුන්දර දසුන වීඩියෝ ගත කළේය.
මගේ නම ඉවාන් වන්දෙමිත්. මම බ්‍රසීලයේ ඉදලා ඉන්දියාවට ආවේ සාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්න. මම මුලින්ම ඉගෙනගත් සංගීත භාණ්ඩය බටනලාවයි. මම ප්‍රසිද්ධියේ බටනලාව වාදනය කරලා නැහැ. කිලෝමීටර් ගානක් දුරගෙවාගෙන කන්නේරි ගල් ගුහා වෙත ආවේ ප්‍රථම වතාවට මම ඉගෙනගත් දේ එලියට දාන්න. මම බුදු දහමට ආසයි. අතීතයේ රහතන් වහන්සේලාගේ මඳුර ස්වර මේ ගල් බිත්ති තුල තාම ඇති. මම ඉගෙන ගන්න හැම ශාස්ත්‍රීය සංගීත භාණ්ඩයක්ම වයන්න මම මෙතැනට එනවා. බටනලා වාදනය මදකට නවත්තපු ඉවාන් අප සමග එසේ පැවසිය.



