රවීගේ බදු සහන ඉල්ලීමට ඇමති මහින්ද අමරවීර එරෙහි වෙයි


මෙරටදී වාහන එකලැස් කිරීමට උත්සහ කරන වාහන ආනයනකරුවකුට සහන ලබාදීම නවත්වන්නැයි ඉල්ලමින් ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට නියමිත යැයි වාර්තා වේ. 
භාවිත කරන ලද වාහන අමතර කොටස්වලින් මෙරටදී වාහන එකලැස් කරන ‘වෙහිකල්ස් ලංකා’ පුද්ගලකි සමාගමට සියයට 70ක බදු සහනයක් ලබාදීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කළේය. 
එම යෝජනාවට තමා විරුද්ධ වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇති අතර එක් තෝරාගත් සමාගමකට පමණක් සහන ලබා නොදිය යුතු බව ද ප්‍රකාශ කර ඇත. එමෙන්ම අදාළ ආනයනකරු රේගු රෙගුලාසි උල්ලංඝනය කර ඇතැයි ද අමාත්‍ය අමරවීර මහතා පවසා ඇත. 
පසුගිය ආණ්ඩුවේ බලපෑම් මත ඒ සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණ නැවැතුණු බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වාහන 2,250ක උපරිමයකට යටත්ව වසර තුනක් කාලයක් සඳහා බදු සහන ඉල්ලමින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව අදාළ සමාගමට භාවිත කරන ලද වාහන අමතර කොටස් භාවිත කරමින් වාහන එකලැස් කරමින් ඉහළ දේශීය ඉහළ අගය එකතු කිරීමේ වටිනාකමක් ලබාගැනීමේ හැකියාව ලැබෙන බව ද පැවසේ. 
මෙම සමාගමට අයත් වාහන අමතර කොටස් සහිත කන්ටේනර් අටක් නිදහස් කඩිනමින් නිදහස් කරන්නැයි මුදල් අමාත්‍යාංශය උපදෙස් දුන් බව පසුගිය සතියේදී වාර්තා විය. 
මේ අතර ශ්‍රී ලංකාව රේගුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ වැටලීමක් කරමින් ආනයනය කරන ලද වාහන අමතර කොටස්වලින් එකලැස් කරන ලද වාහන 54ක් අත්අඩංගුවට ගත්තේය. මෙම වැටලීම් සහ අත්අඩංගුවට කිරීම කරන ලද්දේ මෝටර් රථවාහන පනතට අනුව යැයිද ශ්‍රී ලංකා රේගු නිලධාරීහූ ප්‍රකාශ කළහ.