රවිරාජ් බිරියගේ පෙත්සම 31 වැනිදා සලකා බලයි


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ,ජූරි සභාවක් නොමැතිව එම නඩුව යළි විභාග කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරයාගේ භාර්යාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම ලබන (31) වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (3) තීන්දු කළේය.

එසේම අභියාචන පෙත්සමේ දෙවැනි වගඋත්තරකාර විත්තිකාර ප්‍රසාද් චන්දන කුමාර හෙට්ටිආරච්චි නැමැත්තාට එදින අධිකරණය හමුවේ පෙනිසිටින ලෙස නියෝග කරමින් යළි නොතීසි නිකුත් කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඉදිරියේ අද (3) කැඳවිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජා රවිරාජ් මහතාගේ බිරිය වන ශෂිකලා රවිරාජ් විසින් මෙම අභියාචනා පෙත්සම ගොනු කර ඇති අතර වගඋත්තරකරුවන් වශයෙන් පලනිසාමි සුරේෂ් හෙවත් සාමි ,හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ ප්‍රසාද් චන්දන කුමාර හෙවත් සම්පත් , දෙල්වල ගෙදර ගාමිණී සෙනෙවිරත්න , කම්කානම්ලාගේ ප්‍රදීප් චමින්ද හෙවත් වජිර,සිවකාන්තන් විවේකානන්දන් හෙවත් චරන් ,ෆේබියන් රොයිස්ටන් තුසේන්  යන නැමැත්තන් නම් කරනු ලැබ සිටිති.

අදාළ ජූරි සභා තීන්දුව නිසා අගතියට පත් පාර්ශවය ලෙස මෙම ප්‍රතිශෝධන පෙත්සම් ගොනු කර තිබේ.