රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත තහනම්


කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ දී නොසැලකිලිමත් ලෙස රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය අත්හිටුවන ලෙස කොළඹ රථවාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (27) නියෝග කළේය.

කුරුඳුවත්ත පොලිසිය ඔහුට එරෙහිව චෝදනා පහක් අධිකරණයට ඉදිරිපත් කළ අතර නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය පැදවීම, ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම, ලියාපදිංචිය වෙනත් අයකුට පැවරී ඇති වාහනයක් පැදවීම යන චෝදනා ඔහුට එරෙහිව ගොනු කැරිණි.

එම චෝදනා වලින් පළමු චෝදනා දෙකට තමා වරදකරු බව රමිත් රඹුක්වැල්ල අධිකරණයේ දී පිළිගත් අතර අනෙක් චෝදනාවලට නිවැරදිකරු බව අධිකරණය හමුවේ කියා සිටියේය.

මේ අතර කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අනතුර සිදුවූ වේලාවේ සිදුකළ බැලූන් පරීක්ෂාවේදී ඔහු බීමතින් සිටි බව අනාවරණය වූ බවත් අනතුරින් පැය දෙකකට පමණ පසු තුවාල සිදුව ඇත්දැයි පරීක්ෂා කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඔහු ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ ඇල්කොහොල් ගඳ වහනය වූ බව එම වාර්තාවේ සඳහන් ව ඇති බවත් ය.

පොලිස් ඇප මත සිටින රමිත් රඹුක්වැල්ලට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 18 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.

0-02-06-154c544e7e184fee5e4c25801652e05f2dd5336de2bf54e7829d80abf3ea9ed3_full 0-02-06-d0b57b24914756a9f66915d7de8d585ee82dc846b86fbbb93d2331503de84112_full 0-02-06-de1c2455db890512d7b0899de2672f0a3fefa88c6efa0462e2af3b252dc7c809_full