රන්ජන්ගේ හඬපට මුදාහැරියේ පොලිසියෙන් නොවේ


රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද ඇතුළත් හඬපට සමාජ හා විද්‍යුත් මාධ්‍ය වෙත මුදාහැරීම සිදුකළේ ශ්‍රී ලංකා පොලිසියෙන් බවට එල්ලවන චෝදනා පදනම් විරහිත බවත්, එම චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී

දැනට සමාජගතවී ඇති හඬපට සම්බන්ධ වගකීම දීර්ඝ කාලයක් තිස්සේ ඒවා ළඟ තබාගත් අයට පැවරෙන බවත්, පොලිසියට චෝදනා එල්ල කිරීම විමර්ශන කටයුතු අඩාල කිරීමේ හා මහජනතාව තුළ වැරදි ආකල්පයක් ඇතිකිරීමේ අරමුණින් කරන්නක් විය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.

එහි මෙසේ ද සඳහන්ය.

2020 ජනවාරි මස 02 දින බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරකු විසින් තම ත්‍රිරෝද රථයෙන් කුලි ගමනක් යමින් සිටි පුද්ගලයෙකු අමතකවීමෙන් දමා ගිය බාහිර දෘඩ තැටියක් (External Hard drive) මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා නිලධාරියා වෙත ගෙනවිත් භාර දී ඇත. එම බාහිර දෘඩ තැටිය පරීක්‍ෂා කිරීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් සිදුකළ දුරකතන සංවාද විශාල ප්‍රමාණයක් පටිගතව ඇති බව පෙනී ගොස් ඇති අතර එහිදී ඔහු විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, හිටපු මහාධිකරණ විනිසුරු පද්මනි එන්. රණවක මහත්මිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂිකා දිල්රුක්‍ෂි ඩයස්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ඇතුළු අධිකරණ ක්‍ෂේත්‍රයේ විනිසුරුතුමන්ලා මෙන්ම ශ්‍රී ලංකා පොලිසියට සම්බන්ධ නිලධාරීන් සමග සිදුකළ දුරකතන සංවාද ඇති බව ද පෙනී ගොස් ඇත.

මෙහිදී විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය තුළ පිස්තෝල අවියක් භාවිත කරමින් අවි පුහුණුව ලැබූ බවටත්, එලෙස අවි පුහුණුව ලැබූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා ඝාතනය කිරීම සඳහා බවටත් වන දුරකතන සංවාදයක් පැවතීම මත ඝාතන කුමන්ත්‍රණයක් දියත්වන බවට ඇති වූ සාධාරණ සැකය මත මෙලෙස පොලිසිය වෙත ලද බාහිර දෘඩ තැටියෙහි පළමු පිටපත සහ ඊට සම්බන්ධ වෙනත් දේපළ මෙන්ම දුරකතන සංවාදවල ඇතුළත් පිස්තෝල අවිය සොයා ගැනීම සඳහා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි අංක ඒ/05 දරන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අයත් නිල නිවස පරීක්‍ෂා කිරීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අංක බී 42/2020 යටතේ කරුණු වාර්තා කර 2020.01.04 දින සෝදිසි වරෙන්තුවක් ලබා ගැනීමට මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් කටයුතු කර ඇත.
මෙලෙස ලබාගත් සෝදිසි වරෙන්තුවට අනුව මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්‍ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගොස් පාරලිමේන්තු මන්ත්‍රීවරයාගේ කැමැත්ත ඇතිව ඒ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් හා ඒ මහතාගේ නිවසේ සිටි සේවකයන් මෙන්ම මන්ත්‍රීවරයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් එම ස්ථානයට පැමිණි නීතිඥ මහතකු ඉදිරියේ මෙම නිවස පූර්ණ පරීක්‍ෂාවට ලක්කර ඇත.

මෙම සෝදිසි කිරීම 2020 ජනවාරි මස 04 වන දින සවස පැය 15.00 සිට පැය. 19.30 දක්වා කාලසීමාව තුළ සිදුකර ඇති අතර එම සෝදිසි කිරීම්වල දී මන්ත්‍රීවරයාගේ නිදන කාමරයේ සහ එම කාමරයට යාබ ද කාමරය තුළ මන්ත්‍රීවරයාගේ සන්තකයේ තිබී පහත සඳහන් දේපළ සොයාගෙන නඩු භාණ්ඩ වශයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

2016 වර්ෂයෙන් පසු ලියාපදිංචි කර නොමැති අංක CZ 75 BA186950 අංකය සහිත 9 එම්.එම්. වර්ගයේ ගිනි අවියක් හා එම අවිය සඳහා භාවිත කරන පතරොම් ගැබ් 02ක්, 9 එම්.එම්. වර්ගයේ ජීව උණ්ඩ 127ක් හා පිස්තෝල බහාලන කොපුවක්.

ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 02යි
බාහිර දෘඩ තැටි (External Hard Drive)  04යි.
හාර්ඩ් ඩිස්ක් (Hard Drive) 05යි.
ජංගම දුරකතන 01යි
විවිධ වර්ගයේ D.V.D පට 164යි.
වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ විස්තර ඇතුළත් ගොනු 02යි.

ඉහත පරිදි අත්අඩංගුවට ගනු ලැබූ දේපළ අතුරින් ලියාපදිංචි නොකළ ගිනි අවිය සමග අත්අඩංගුවට ගත් ජීව උණ්ඩ 127 සමග එම උණ්ඩ බහාලන ලද ඇසුරුම් 03ක්ද අත්අඩංගුවට ගෙන ඇති  අතර එම එක් ඇසුරුමක උණ්ඩ 50 බැගින් මුළු උණ්ඩ 150ක් තිබිය යුතුව ඇතත් ඉන් 23ක ප්‍රමාණයක් නොතිබීම මත අදාළ උණ්ඩ භාවිත කරමින් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කිසියම් සාහසික ක්‍රියාවක් සිදුකළේ ද?, එසේ නොමැතිනම් මෙම ගිනිඅවිය සමග එම උණ්ඩ යම් අපරාධයක් සිදුකිරීම වෙනුවෙන් වෙනත් පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට ලබාදී තිබේද? යන කරුණ පිළිබඳව පොලිස් නිලධාරීන් තුළ ඇති වූ බරපතළ සැකය මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අදාළ දේපළද සමග 2020 ජනවාරි 04 වන දින පැය 19.30ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් දේපළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වම් මාපට ඇඟිලි සලකුණ සහිතව මුද්‍රා තබා ආරක්‍ෂිතව තබා ඇති අතර ඉදිරි ආසන්තම දිනකදී මෙම දේපළ නඩු භාණ්ඩ වශයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්  කර වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ඉහත සඳහන් දේපළවල ඇතුළත්ව ඇති රන්ජන් රාමනායක මහතා විසින් විවිධ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් සමග සිදුකළ දුරකතන සංවාද ඇතුළත් හඬපටවල සඳහන් කරුණු මේ දිනවල සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන් කරනු ලබන චෝදනා ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රතික්‍ෂේප කරන අතර රන්ජන් රාමනායක මහතා තම පුද්ගලික සන්තකයේ තබාගෙන සිටි දුරකතන සංවාදවලට අදාළ තොරතුරු මෙලෙස සමාජගතවීම සිදුවී ඇත්තේ ඒ මහතා සතුව එම බාහිර දෘඩ තැටි පැවැති අවස්ථාවක බවට නිරීක්‍ෂණය වන බව ද ප්‍රකාශ කර සිටිමු.

ඒ අනුව විවිධ පුද්ගලයන් හා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් සංසරණය වන මෙම සිදුවීමට අදාළ දුරකතන සංවාද ඇතුළත් හඬ පට එම සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය වෙත මෙලෙස මුදා හැරීම ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකළ බවට විවිධ පාර්ශ්වයන් විසින් ජනමාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන චෝදනා පදනම් විරහිතව සිදුකරන බැවින් මෙම ප්‍රශ්නගත දුරකතන සංවා ද ඇතුළත් හඬ පට යොදා ගනිමින් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශන කටයුතු අඩාල කිරීම සඳහාත්, එල්ල වන බරපතළ චෝදනාවලින් නිදහස් වීම සඳහා මහජනතාව තුළ වැරදි ආකල්පයක් ඇතිකරවීම සඳහාත් කරනු ලබන මෙම චෝදනා ශ්‍රී ලංකා පොලිසිය විසින් බැහැර කරනු ලබන අතර දැනට සමාජ ගතවී ඇති සිද්ධි ගත දුරකතන සංවාදවල ඇතුළත් හඬපට සම්බන්ධ වගකීම මුළුමනින්ම පැවරෙන්නේ දීර්ඝ කාලයක සිට ඒවා සන්තකයේ තබාගෙන සිටි අයවලුන්ට බවද ප්‍රකාශ කර සිටිමු.