
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අධිකරණ විනිසුරුවරුන් සහ නීතීඥවරුන් සම්බන්ධ ප්‍රකාශයක් කිරීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ඇති පළමු අධිකරණ අපහාස නඩු විභාගය නොවැම්බර් 6 වැනිදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියම කළේය.
විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ.සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට සහභාගි වන බැවින් නඩුව වෙනත් දිනයක කැඳවන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මෝසමක් සලකා බලමින් අධිකරණය මෙම නියෝගය කළේය.
එදිනට විත්තිකාර රන්ජන් රාමනායක මහතා අනිවාර්යෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට නියම කෙරිණි. සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව අද (21) කැඳවනු ලැබීය.
2017 අගෝස්තු 21 වැනි දින අරලියගහ මන්දිරය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් අමතා විනිසුරුවරුන් සහ නීතීඥවරුන් සම්බන්ධ ප්‍රකාශයක් කිරීම මගින් අධිකරණයටඅපහාස කර ඇති බවට මාගල්කන්දේ සුදන්ත හිමි සහ විශ්‍රාමික හමුදා නිලධාරී සුනිල් රත්නායක මහතා පැමිණිල්ලක් ගොනු කර තිබුණි.
අධිකරණයේ නියෝගය මත නීතිපතිවරයා විසින් චෝදනා පත්‍ර ගොනු කිරීමෙන් පසු එම චෝදනාවන්ට තමා නිවැරදිකරු බවට රන්ජන් රාමනායක මහතා පැවසීම නිසා නඩුව විභාග කිරීමට අධිකරණය තීරණය කළේය.
මෙම නඩුවට අදාළ සාක්ෂි මෙහෙයවීම සහ වාචික දේශන ඉදිරිපත් කිරීම මේ වන විට අවසන් කර ඇති අතර නඩු විභාගයේ දී මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා එය අද (21) කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණි.
නීතිඥ දිනේශ් විදානපතිරණ මහතාගේ උපදෙස් මත නීතීඥ විරාන් කොරයා මහතා විත්තිකාර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

