රන් වළලු දී රෙදි ගන්න බැරි වේ


රුපියල්  විසිහය ලක්ෂ විසි පන්දහසක් වටිනා නිම නොකළ රත්තරන් මාල තුනක්,  වළලූ දහ තුනක් සහ මුදු තුනක් පැලඳ ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකාරියෝ කොළඔ පදිංචිකාරියන් බවත් ඔවුන් නිතර නිතර ඉන්දියාවට ගොස් ඇති බවත්  රේගුව කියයි.

අත්අඩංගුවට ගනු ලැබු රන් ආභරණ වල බර ග‍්‍රෑම් පන්සිය විසි පහකි.

රේගුව විසින් ප‍්‍රශ්ණ කිරීමේදී  මොවුහු පවසා ඇත්තේ තමන් මෙම රන් ආභරණ ඉන්දියාවට ගෙන ගොස් විකුනා එම මුදල් වලින් රෙදිපිළි රැගෙන ඒමට සැලසුම් කර තිබූ බවයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඞී.එන් හෙට්ටි ආරච්චි මහතා විසින් සිදු කරනු ලබයි.