රන් කුට්ටිය කටෙන් එළියට ගනී


රුපියල්  හාරලක්ෂ අසූ දහසක්  වටිනා රත්තරන් කැබැල්ලක්  තම කටෙහි  සගවාගෙන බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී   ලාංකිකයෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින්  අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 49  හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගනු ලැබු රන් කැබැල්ලෙහි බර ග්‍රෑම් 98 කි.

ඔහුගේ ගුවන් බලපත්‍රයේ සඳහන්ව ඇත්තේ ඔහු  වෘත්තියෙන් රියදුරෙක් බවයි.  නමුත්
 ඔහු  නිතර,  නිතර ඉන්දියාවට යන එන පුද්ගලයෙකු බව රේගුව කියයි.

සැකකරු ඊයේ  ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 171 දරණ ගුවන් යානයෙන් බැංගගෝරය බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

මේ පිළිබඳ රේගු පරික්ෂණය  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා  විසින් සිදු කර සැකකරුට රුපියල්  විසිදහසක දඩයක් නියම කොට  එම රන් කැබල්ල රාජසන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩග්ලස් සිල්වා, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, එස්. මහේෂ්, චින්තක ශ්‍යාමාල්, මංජුල කුමාර, නුවන් ජයසුන්දර, නිරෝෂා විජේතුංග යන නිලධාරීහු සිදු කරති.