පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල තිදෙනකු යුද හමුදාවෙන් වෙඩි තබා ඝාතනය කර තවත් විශාල පිරිසකට තුවාල සිදු කිරීමෙන් වසර තුනකට පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගම්පහ හිටපු ප්‍රාදේශීය සභාපති රංජිත් ගුණවර්ධන මහතාගේ රතුපස්වල නිවසේ රැස්වීමකට අද (07) පැමිණියේය.
හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා රතුපස්වලට පැමිණීමට විරෝධය දක්වමින් රතුපස්වල ජල ගැටළුවේදී යුද හමුදාවෙන් වෙඩි කෑ දස දෙනෙක් අද (07) පැයක නිහඬ විරෝධයක් දැක්වූහ.
විරෝධතා පුවරු අතැතිව බැලුම්මහර - වැලිවේරිය ප්‍රධාන මාර්ගය ඉදිරිපිට සිටි ඔවුන් රතුපස්වල පිට්ටනිය ඉදිරිපිට කළු කොඩිවැලක් එල්ලා තිබිණි.
විරෝධතාව අරඹා පැය බාගයක් පමණ යද්දී යතුරු පැදියකින් ආ දෙදෙනෙක් තමන්ට ද අදහස් දැක්වීමට අවශ්‍ය බව කීහ.
‘මේ පිරිසට කිහිප වරක් වන්දි දුන්නා. දැන් බොරුවට අසාධාරණ විනිදයට උද්ඝෝෂණ කරනවා.‘ යැයි ඒ දෙදෙනා කියද්දී උද්ඝෝෂණය කරන පිරිස අතර සිටි කාන්තාවක් පැමිණ ඔවුනට එරෙහිව කතා කරන්නට වූවාය.
‘ඔයාලා බීගෙන මෙතන එන්න එපා.‘ යැයි කාන්තාව කීවාය.
‘අපි ඔයාලගේ සල්ලිවලින් බිව්වේ නැහැනේ.‘ යැයි විරෝධතාවට එරෙහිව අදහස් දැක්වූ පුද්ගලයෙක් කීවේය.
විනාඩි 10ක් පමණ වචන හුවමාරුව සිදු විය.
විරෝධතාවට එරෙහිව අදහස් දැක්වූ පුද්ගලයාගෙන් මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න අසද්දී ඔහු අනෙක් පුද්ගලයාද සමග යන්නට ගියේය.
විරෝධතාවයෙන් පසු අදහස් දැක්වූ ජූඩ් නිශාන්ත පෙරේරා මහතා මෙසේ ද කීවේය.
‘මහින්ද මහත්තයාගේ කාලේ වතුර ඉල්ලා උද්ඝෝෂණය කරද්දි අපට වෙඩි තිබ්බා. මටත් වෙඩි වැදුණා. වතුර ඉල්ලපු අපට වෙඩි තිබ්බේ. අද වෙනකම් රාජපක්ෂ මහත්තයා අපි දිහා බැලුවේ නෑ. අපට වන්දියක් දුන්නෙත් නෑ. එදා එන්න බැරිවුණු ජනාධිපති රාජපක්ෂ මහත්තයා ඇයි අද රතුපස්වලට එන්නේ? අපේ තුන් දෙනෙකු මැරුවට පස්සේ ශෝකයක්වල් පළ කළේ නැති ජනාධිපතිවරයා රතුපස්වලට එනවට අපි කැමති නෑ. ‘
වෙඩි වැදුණු පෙරේරා මහතා මෙසේ කීවේය.
‘මට වෙඩි වැදුණා. දත් තරක් කැඩිලා කැඩිලා ගියා. මේ නිසා මම ගොඩක් දුක් වින්දා. කිලන් හිටපු ජනාධිපතිතුමා අපේ ගමට එනවා කියා අපට ආරංචියි. අපි ගැන පොඩ්ඩක්වත් සොයා නොබලපු හිටපු ජනාධිපතිතුමා දැන් රතුපස්වලට එන එක ගැන අපි කණගාටු වෙනවා.‘
(ඡායාරූප හා වීඩියෝ තරිඳු ජයවර්ධන)










