රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව වසා දමන්නැයි මාරාන්තික උපවාසයක යෙදුණු තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගැන පසුගිය සිකුරාදා සිට තොරතුරක් නැතැයි ගම්වාසීහු කනස්සල්ල පළ කරති.
සිරිධම්ම හිමියන් පන්සලට වැඩම කර ඇතැයි ලැබුණු ආරංචියට අනුව ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට ගියත් එහි කිසිවෙක් නොසිටි අතර සිරිධම්ම හිමියන්ගේ වටාපත ඒ හිමියන් නිතර වැඩහිඳි ආසනය මත විය.
අසල්වාසියකු පැවසුවේ මළගෙදරක යන බව කියමින් සිරිධම්ම හිමියන් පිටව ගිය බවයි. ඉන් පසු තමන් වහන්සේ පන්සලක සිටින බවට දුරකතන ඇමතුමක් දුන් බවත්, එම ඇමතුමෙන් පසු තවම තොරතරක් නැති බවත්, වෙනදා කොහේ ගියත් සිරිධම්ම හිමියන් තමන් සමග දුරකතනයෙන් සම්බන්ධ වන බවත් ඔහු පැවසීය.
ගම්වාසීන් හා මාධ්‍යවේදීන් නිරන්තරයෙන් සිරිධම්ම හිමියන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. සෙනසුරාදා (12) පෙරවරු 6.45ට පමණ ඒ හිමියන්ගේ දුරකතනයට ඇමතුමක් ගත් විට සුළු වේලාවකින් දුරකතනයට ප්‍රතිචාර දැක්වීය.
එම අවස්ථාවේ දී සිරිධම්ම හිමියන් ‘ලංකාදීපයට‘ පැවසුවේ තමා මළගෙදරක වැඩ සිටින බවයි.
රතුපස්වල ගම්වැසියන් සිරිධම්ම හිමියන් එනතුරු බලා සිටින බව කී විට ඒ හිමියන් පැවසුවේ මළගෙදර වැඩ කටයුතු පවරා ඒමට වගකිවයුත්තකු නොමැති බවයි. එදින දහවල් රතුපස්වලට ඒමට සිතා සිටින බව ද ඒ හිමියෝ කීහ.
ලංකාදීප - හාමුදුරුවන් ගමේ නැතැයි කියා රාවයක් යනවා. ඔබවහන්සේට කරදරයක් ද?
සිරිධම්ම හිමියන් - නෑ නෑ මම හොදින් ඉන්නවා. මට මෙහේ කිසිම කරදරයක් නෑ. මට මේ දේශගුනේ ඇල්ලුවේ නෑ. කැස්ස වගේ පොඩ්ඩක් ඇවිත්.
ඒ සමගම දුරකතනය විසන්ධි විය.
ඉන්පසු දුරකතන ඇමතුම් ලබා ගත්තත් සිරිධම්ම හිමියන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබිණි.
අද සවස 6 වන විටත් ඒ හිමියන් විහාරස්ථානයට වැඩම කර තිබුණේ නැත.