රතුපස්වල සැකකරුවෝ රිමාන්ඩ්


(ටෝනි කරුණානායක)
 
ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දැමීමේ සිද්ධියට සැකපිට රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයන් තුන් දෙනාම අප්‍රේල් 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය අද (24) නියෝගය කළාය.
 
වැලිවේරියේ රතුපස්වල ජල ප්‍රශ්නයකට විසඳුම් ඉල්ලා පැවැති උද්ඝෝෂණයකට 2013 අගොස්තු 01 වැනි දා වැලිවේරිය නගරයේදී  යුද හමුදාවෙන් වෙඩි තැබීමෙන් සහ පහරදීමෙන් තිදෙනෙක් මියගොස් 50කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.   

රමිල රවිශාන් පෙරේරා සහ අඛිල දිනේෂ් යන පාසල් සිසුන් දෙදෙනා වෙඩි වැදී මිය  ගිය අතර  නිලන්ත පුෂ්පකුමාර පහරදීමකින් වූ තුවාල නිසා මිය ගොස් ඇතැයි රහස් පොලිසිය මීට පෙර අධිකරණයට දන්වා තිබිණි.
 
මිනී මැරීම සහ මිනී මැරීමට තැත් කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.