වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ යන්ත‍්‍ර සුත‍්‍ර වල නඩත්තු කටයුතු කිරීමට කාර්‍ය මන්ඩලය ඇතුළු සේවකයන් පනස් දෙනෙකුට යලි කර්මාන්ත ශාලාව ඇතුළට යාමට ඉඩ දීමට ගම්වාසීන් සහ පොලිසිය අතර අද පැවති සාකච්ඡාවකදි තීරණය විය.
රතුපස්වල සිරි සීවලී විද්‍යාලය අසල සුසාන භූමියකදී ගම්පහ කොට්ඨාශ බාර පොලිස් අධිකාරී විජිත ඞී කොමසාරු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට ගම්වාසීහු දහසක් පමණ සහභාගී වුහ.
ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ මුලිකත්වයෙන් මින් පෙර පැවති සාකච්ඡාවකදී යන්ත‍්‍ර සුත‍්‍ර නඩත්තු කටයුතු සඳහා සේවක සේවිකාවන් ක් 80 දෙනෙකුගේ කණ්ඩායමකට කර්මාන්ත ශාලාව ඇතුලව යාමට අවසර දී තිබණි.
ඒ වන විට කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නවතා දමා තිබූ අතර එය නිරීක්ෂනය කිරීමට ගම්වාසීන්ට අවසර දී තිබුණි.
එසේ තිබියදී වැලිවේරිය පොලීසිය විසින් ගල් වැලි පුරවාගත් ලොරියක් බලහත්කාරයෙන් කර්මාන්ත ශාලාව ඇතුළට යැවීමට ගත් උත්සාහයක් නිසා ගැමියන්ගේ විරෝධතාවයක් පැන නැගී එතෙක් නඩත්තු කටයුතු සඳහා ඇතුළු වීමට දී තිබු අවසරය නවතා දැමිණි.
යන්ත‍්‍ර සුත‍්‍ර අළුත්වැඩියාව සඳහා කර්මාන්ත ශාලාව තුලට සේවකයින් යැවීම අත්‍යවශ්‍ය බව කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය පොලිසියට ඉල්ලීමක් කර තිබු අතර එය ගැන සාකච්ඡා කිරීමට හදිසියේ ඊයේ මෙම රැස්වීම සංවිධානය කෙරිණි.
සාකච්ඡාව සදහා පැමිණි පොලිස් අධිකාරී විජිත කොමසාරු මහතා පැවසුවේ යන්ත‍්‍ර සුත‍්‍ර අළුත් වැඩියාවට සේවකයින්ට ඇතුළු වීමට ඉඩ නොදුනහොත් විශාල ගැටළුවක් පැන නගින බවයි.
එසේම කර්මාන්ත ශාලාව තුළ රසායනික ද්‍රව්‍ය ඇති නිසා යන්ත‍්‍ර සුත‍්‍ර අළුත්වැඩියා නොකලහොත් ඇතැම් විට එයින් විනාශයක් පවා විය හැකි යැයිද ඔහු පැවසීය
එම අවස්ථාවේ ගම්වාසීන් විසින් පොලිස් අධිකාරීවරයාට විවධ යෝජනා ඉදිරිපත් කරනු ලැබුහ. ඔවුන් පැවසුවේ සේවකයක් අසු දෙනෙකුට යාමට ඉඩ දිය නොහැකි බවත් උපරිම පනහක් යාමට අවසර දෙන බවයි.
එමෙන්ම කර්මාන්ත ශාලාව තුළ ඇති රසායන ද්‍රව්‍ය ඇතුළු යම් යම් දේවල් ඉවත් කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා වාහන ඇතුළුවීමට සහ පිටකිරීමට අවශ්‍ය බවත් පොලිස් අධිකාරීවරයා පැවසුවේය.
එවිට ගැමියන් පැවසුවේ කර්මාන්ත ශාලාව හොර රහසේ නිෂ්පාදන කටයුතු කිරීමට උත්සහ දරන බවත් තමන්ට කර්මාන්ත ශාලාවෙන් පිටවන හා ඇතුළුවන වාහන පරීක්ෂා කිරීමට අවශ්‍ය බවත්ය.
එයට පිළිතුරු වශයෙන් පොලිස් අධිකාරීවරයා පැවසුවේ ඕනෑම අවස්ථාවක නිෂ්පාදන කටයුතු කරන්නේ දැයි පරීක්ෂා කිරීමට තමන් සමග ගැමියන් හතර දෙනෙකුට කර්මාන්ත ශාලාව ඇතුලට යා හැකි බවයි.
මෙම අවස්ථාවේදී කර්මාන්ත ශාලාව ස්ථිරවම ඉවත් කරගන්නා දිනයක් තමන් වෙත ලබා දෙන ලෙස ගැමියෝ පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලූහ.
ජනාධිපතිවරයා රතුපස්වල ගැටළුව නිරාරණය කිරිම සම්බන්ධීකරණය කිරිමට බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පත් කර ඇති බවත් ඒ මහතා මේ වන විට විදේශ ගතව ඇති බැවින් තමන්ට ඒ සඳහා දින පහලොවක කාලයක් ලබා දෙන ලෙස පොලිස් අධිකාරීවරයා ගැමියන්ට පැවසීය.
ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි විද්වත් තමිටුවේ සාමාජිකයෙකු වන නීතිඥ පාලිත සේනාරත්න මහතා ගැමියන් අමතා පැවසුවේ පෙර දිනකදී තෙරි පැහැ සිරි ධම්ම හිමියන් විසින් ඒක පාර්ශිකව ගත් තීරණයකට අනුව යළි කර්මාන්ත ශාලාව විවෘත කරන බවට අත්සක් කරන ලද ගිවිසුම ගැන කිසිඳු බියක් ඇති කර නොගන්නා ලෙසයි.
මින් පසු ගම්මුන් එකිනෙකා බේද බින්න නොවී සාදාරණ විසුදුමක් පැමිණෙන තුරු පෙර සිටියාක් මෙන් එකාවන්ව සමගියෙන් සිටිය යුතු බවත් ඔහු ගැමියන්ට පැහැදිලි කළේය.