රතුපස්වල ජල ගැටුළුවට විසදුම් ඉල්ලා වැලිවේරියේ කළ උද්ඝෝෂණයේ දී වෙඩි වැදී තුවාල ලැබූවන් වෙනුවෙන් කර්මාන්ත ශාලාව ආධාර මුදල් ලබා දෙද්දී එම ගනුදෙනුවේ අතර මැදියකු ලෙස කටයතු කළ පුද්ගලයකු විසින් නැවත එම මුදල් ඉල්ලා බලපෑම් කළැයි කියන සිද්ධිය විභාග කිරීමට පොලිසියට නොපැමිණි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
එම පැමිණිල්ල විභාග කිරීම සඳහා ජූඩ් පෙරේරා නම් පැමිණිලිකරුට සහ ඔහුගේ බිරියට බලපෑම් කළ බව කියන අතරමැදිකරුට අද (1) උදේ 10ට පොලිසියේ පෙනී සිටින ලෙස දැනුම් දි තිබුණත් අතරමැදිකරු පොලිසියට පැමිණ නැත.
නියමිත වේලාවට පොලිසියට ගිය ජූඩ් පෙරේරා මහතා පැය දෙකක් පමණ පොලිසියේ රැඳී සිට සැකකරු නොපැමිණි නිසා නැවත ගොස් ඇත. පොලිසියෙන් ඔවුන්ට දැනුම් දී ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනව බවයි.
පසුගිය අගෝස්තු පළමුවැනි දා වැලිවේරිය නගරයේ දී ගැම්වාසීන් හා යුද හමුදාව අතර ගැටුමේ දී පැමිණිලිකරුගේ පිටකොන්දට වෙඩි වැදී තිබිණි.
වෙඩි වැදී තුවාල ලැබුවන්ගේ පවුල්වලට රතුපස්වල කර්මාන්ත ශාලාවෙන් ආධාර මුදල් ලබා දෙද්දී ජූඩ් පෙරේරා මහතාට ද රුපියල් 25000ක මුදලක් ලැබී ඇත.
ඉන්පසු දිනක පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනක දී වෙඩි වැදුණු ආකාරය ගැනත්,මෙතෙක් රතුපස්වල සිදුවූ සිද්ධීන් ගැනත් ජූඩ් පෙරේරා මහතා විස්තර කර ඇත. කර්මාන්ත ශාලාව හා තුවාලකරුවන් අතර ගනුදෙනුවේ අතරමැදියකු ලෙස ක්‍රියා කළ පුද්ගලයකු ජූඩ් පෙරේරා මහතා වැඩසටහන නිමා වී නිවසට යෑමටත් පෙර අලුයම එකට පමණ නිවසට ගොස් ලබා දුන් මුදල් නැවත ඉල්ලා බිරියට බලපෑම් කර ඇතැයි පැමිණිල්ලේ සදහන්ය.