රතුපස්වල රබර් අත්වැසුම් නිෂ්පාදනය කරන ආයතනය හා සම්බන්ධ පිරිසක් විසින් ජල ගැටළුවේදී මාරාන්තික උපවාසයක යෙදුණු තෙරිපැහැ සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට විරුද්ධව වැලිවේරිය පොලිසියට කර ඇති පැමිණිලි විභාග කිරීමට පොලිසියට එන ලෙස කළ දැනුම් දීමකට අනුව ඒ හිමියෝ ඉරිදා (22) සවස වැලිවේරිය පොලීසියට ගියහ.
එම නිසා වැලිවේරිය නගරයේ යළි තරමක් උණුසුම් තත්ත්වයක් ඇති විය.
තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට විරුද්ධව වැලිවේරිය පොලිසියේ දමා ඇති පැමිණිලි ගනන දහයකි. එම පැමිණිලි විභාග තිරීම සදහා පොලිසිය කළ දැනුම් දීමකට අනුව පසුගිය 14 වැනිදා ද ඒ හිමියෝ වැලිවේරිය පොලිස් ස්ථානයට වැඩම කළහ. එම අවස්ථාවේදී ගම්පහ සහකාර පොලිස් අධිකාරී (3) චන්දන කොඩිතුවක්කු මහතා ලිඛිතව දැනුම් දුන්නේ පැමිණිලි විභාග කිරීමට පොලිසියට ඒම අනවශ්‍ය බවයි.
ඒ සඳහා පැමිණිලිකරුවන් සමග 22 වැනිදා ඒ හිමියන්ගේ විහාරස්ථානයට එන බවද සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ලිඛිතව දනුම් දී තිබිණි.
නමුත් 21 වැනිදා රාත‍්‍රියේ යලි සිරිධම්ම හිමියන්ගේ පන්සලට පැමිණි පොලිසිය ඒ හිමියන්ට දැනුම් දී ඇත්තේ 22 වැනි දා පොලිසියට පැමිණෙන ලෙසයි.
ඒ අනුව නීතිඥ පාලිත සේනාරත්න මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් ද සමග ගල්ලොළුව ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පොලිසියට ගියහ.
පැමිණිලි විභාග කිරීමට පොලිසියට පැමිණිම අවශ්‍ය නොවන බවට සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඉකුත් 14 වැනිදා ලිඛිත පොරොන්දුවක් දී තිබියදීත් සිරිධම්ම හිමියන් නැවත පොලිසියට කැදෙව්වේ ඇයි දැයි දැන ගැනීමට පොලිසිය අසල ගැමියන් රැසක් රැදී සිටියහ.
එහි සිටි ඇතමෙක් පැවසුවේ කිසිවෙකුගේ හෝ උවමනාවකට සිරිධම්ම හිමියන් මෙසේ රස්තියාදු කරන බවයි.
කම්හලට හිතැති පිරිසක් විසින් සිරිධම්ම හිමියන්ට විරුද්ධව පැමිණිලි දහයක් වැලිවේරිය පොලිසියට ඉදිරිපත් කර තිබූ අතර ඉරිදා (22) වන විට ඉන් පැමිණිලි 6 ක් ඉල්ලා අස්කරගෙන තිබිණි.
ඉරිදා (22) පැමිණිලි හතරක් විභාග කළ බවත්, පැමිණිල්ල සමත කිරීමට පැමිණිලිකරුවන් අකමැති නිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වන බවත් පොලිස් ආරංචි කියයි.
මේ අතර ගැමියෝ පැවසූවේ ජනාධිපතිවරයා ජල ප‍්‍රශ්නය සඳහා විසදුම් දී තිබුනද ඒවා ක‍්‍රියාත්මක කරන පාර්ශවයන් කල් මරමින් සිටිම නිසා තමන් දැඩි අපහසුතාවයට පත් ව ඇති බවත් කිසියම් පිරිසක් විසින් ගැමියන් අතර ප‍්‍රශ්ණ අවුලූවා භේද භින්න කිරීමට උත්සහ දරන බවත්ය.
පැමිණිලිකරුවන් සහ සිරිධම්ම හිමියන් පැය දෙකකට අදික කාලයක් පොලිසිය තුල රැදී සිටි අතර පැමිණිලි විභාග කිරීමෙන් පසු සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා පැවසුවේ ‘පොලිසියට පැමිණිල්ලක් ලද විට සියළු පාර්ශවකරුවන් පොලිසියට ට ගෙන්වා විභාග කිරීම සාමාන්‍ය ක‍්‍රමය බවයි.
‘පොලිස් ස්ථානයට පැමිණිල්ලක් දැමූ විට සාමාන්‍ය ක‍්‍රමය තමයි දෙපිරිස පොලිසියට ගෙනල්ලා විමර්ශනය කරන එක. ඊට අමතරව යම් සිද්ධියක් තියෙනවා නම් අපි එම ස්ථානයට ගිහින් විමර්ශනය කරනවා.
මේ සිද්දියේ වග උත්තරකරු වුණේ අපේ පන්සලක ස්වාමීන් වහන්සේ නමක්. උද්ඝෝෂණය පැවති අවස්ථාවේ ඉදිරියෙන් හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි ඒ හිමියන්.
ඒ නිසා ගමේම දෙපිරිසක් පැමිණිලි සහ විත්තිකරුවන් වී ඇති නිසා අපි බැලුවේ පන්සලට ගිහින් විමර්ශනය කරලා අවසන් කරන්නයි. ඒ වුණාට පැමිණිලි පාර්ශ්වය ඊට එකග වුණෙනැහැ.
ඒ නිසයි නැවත අපි පොලිස් ස්ථානයට සිරිධම්ම හිමියන් කැඳෙව්වේ. පැමිණිලි පාර්ශ්වය කියනවා එයාලට අධිකරණ ක‍්‍රියා මාර්ග ගන්න ඕනා කියා. ඒ කියන්නේ උසාවියේ නඩු පවරන්න ඕනේ කියා. ඉතින් අපි ඉදිරියට ඒ විදියට කටයුතු කරනවා‘
පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණි නීතිඥ පාලිත සේනාරත්න මහතා මෙසේ ද කීවේය.
‘පොලිසියට පැමිනිලි 10 යක් ලැබී තිබෙනවා. ඉන් හයක් ඉවත් කරගෙන තියෙනවා. අද හතරක් විභාග කළා. පැමිණිලි පාර්ශවය කිව්වා ම අධිකරණ ක‍්‍රියා මාර්ගයකට යාමට අවශ්‍ය බව.
පොලීසිය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළා මේ සඳහා නීති උපදෙස් ලබාගෙන නඩු පැවරීමට.
මට නම් මෙතනදී පෙනෙන්නේ සමහර අය පෞද්ගලික එදිරිවාදි කම් පිරි මසා ගැනීම සඳහා ගෙන යන වැඩපිළිවෙලක් තමයි මෙතන තියෙන්නේ.
මේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ගත්ත තීරණ නෙමෙයි මේවා. පුද්ගලික තරහාකාරයෝ මේ අරගලයට මුවා වී ඒක යොදාගෙන හිංසා කරන බවක් තමයි පෙනෙන්නේ.
මේ අය කව්ද කියලා හඳුනාගන ඒ වැඩපිලිවෙල නවත්වන්න අපි ක‍්‍රියාත්මක වෙනවා‘.
ගල්ලොලූව ශ‍්‍රී සම්බද්ධත්ව ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ මෙසේද පැවසූහ.
‘අපිට මේ චෝදනා කර තියෙන්නේ අපේම දුප්පත් මිනිස්සු. ඒ මිනිස්සුන්වත් ආරක්ෂා කර ගන්න එක තමයි අපේ වගකීම වෙන්නේ.
මොනවා වුත් ඒ අපේම මිනිස්සු. දියට පහරක් ගැහුවම දිය දෙකඩ වෙන්නේ නැහැ වගේ හැමදාමත් ගම සමගි වෙලා ඉන්ඩ ඕනේ. ඒ නිසයි අපේ මිනිස්සු ආරක්ෂා කරගන්න ඕනේ.
මේ දක්වා අපි කාටවත් හිංසා පීඩා කරපු පිරිසක් නෙමෙයි. ඒ නිසා පොලිසියෙදි අපි තීරණයකට ආවා නීති පති උපදෙස් අනුව ක‍්‍රියා කරන්න සම්මුතියකට එන්න.
නීත්‍යානුකූල කියන්නේ නීතියට අනුකූල ජනතාවක්. අපි දේශපාලනයට හෝ වෙනත් පාර්ශ්වයකට ගැති වෙලා ඉන්න පිරිසක් නෙමෙයි.
අපි අහිංසක ගම් වැසියෝ. ගම්වැසියන්ගේ සාධාරණ ඉල්ලීමක් නිසා තමයි අපි පාරට බැහැලා ජල ගැටලූව සම්බන්ධයෙන් ඉල්ලීම් කළේ.
අපි ඉල්ලීම් දෙකයි ඉල්ලන්නේ. අපිට බොන්ඩ වතුර ටික දෙන්න සහ කර්මාන්තශාලාව මෙතනින් අරගෙන යන්ඩ. .
ගමේ අය අතර බේදීම් ඇති කරන්න සමහරු කටුයුතු කරනවා. සමහර අය ප්‍රචාර ගෙන යනවා මා ඉදිරියේදි දේශපාලනයට ඇවිත් මොකක් හරි සභාවකට ඡන්දෙ ඉල්ලන්න යනවා කියා. මම කවදාවත් දේශපලනයට හෝ කිසිම වෙනත් පාර්ශවයන්ට ගැති කම් කරන්නේ නැහැ.
මට ඉන්නේ දායකයෝ පිරිසක්. මේ සිවුරේ ඉදිමින් ඔවුන්ගේ ප‍්‍රශ්න වලදී මා සැමවිටම ඔවුන් සමග ඉදිරියට එනවා‘.
පොලිසිය අසලට පැමිණ සිටි නැදුන්ගමුවේ පදිංචි සුරේශ් පෙරේරා මහතා මෙසේ පැවසීය.
‘අපේ මේ ප‍්‍රශ්නය තාම හරියට විසදී නැහැ. මෙතන ජල නල එළීමවත් හරියට ක‍්‍රමවත්ව කර නැහැ. රජයෙන් මේක විසදන්න මුදල් ප‍්‍රථිපාදන වෙන් කළාට ඒක නිසි විදියට ක‍්‍රියාක්මක වී නැහැ.
නිලධාරීන්ට ඕන විදියට බට දමා හරියන්නේ නැහැ. ප‍්‍රශ්නය තියෙන්නේ ජනතාවටයි. ජනතාවගේ අවශ්‍යතාවය පරිදියි එය විය යුත්තේ.
කොටසකට විතරක් වතුර අරගෙන තවත් කොටසකට වතුර නොදී ඉන්න බැහැ. ඡන්ද තියෙනවා වගේ කොටස් ක‍්‍රමයකට වතුර අරගෙන හරියන්නේ නැහැ. මේ ඔක්කොටම වතුර දෙන්න ඕනෑ.
මේ ප‍්‍රශ්ණයට මැදිහත් නොවුන දේශපාලන හෙංචයියලාගේ ගෙවල් ගාවට බට දාලා තියෙනවා. නමුත් රැකියවට පවා නොගොස් දිවා රෑ කැප කිරීම් කර ජල ගැටලූව වෙනුවෙන් දුක් මහන්සි වෙච්ච මිනිස්සුන්ගේ ගෙවල් පෙනි පෙනී බට දාන එක නතර කර තියෙනවා.
අක‍්‍රමවත්ව බට දාපු එක ගැන අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒ නිසා තවත් අප අපහසුතාවයට පත් නොකර තවත් කල් මරන්නේ නැතිව වතුර ටික දෙන්න.
අපි මේ වගේ කතා කරනකොට දේශපාලන අධිකාරියෙන් කියනවා ඔය කෑ ගහන්නේ ගමේ අය නෙමෙයි කියා. ඔවුන් ඡන්දෙ කාලෙට ගමේ කියලා මනාප තුනම ඉල්ලන් එන්නේ. දැන් ඒවා මතක නැති වුනාම ඒ වගේ කතා කියනවා. අපි ඡන්දෙ දුන්නෙත් මේ ආණ්ඩුවට තමයි. අද මෙතන ඉන්න සියයට අනූ පහක්ම මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු අය.
මගේ තාත්ත, මුත්තා, කිරිකිත්තා ඉදලා මේ ගමේ ඉපදුනේ. අපි මැරෙන්නෙත් මේකෙමයි.
උද්ඝෝෂණයට සහභාගී වුන ජනතාව අපහසුතාවයට පත් කරන්න කර්මාන්ත ශාලාවට හිතවත් පිරිසකගේ උපදෙස් වලට අනුව ගම්මු දෙන්නෙක් තුන්දෙනෙක් අහුවෙලා ඉන්නවා.
ඒ අය හදන්නේ ගමේ නිහතමානිව පාඩුවේ ඉන්න අහිංසක මිනිස්සු කුපිත කරලා අනවශ්‍ය ප‍්‍රශ්න ඇති කරන්න.
අපි මේ ප‍්‍රශ්නය විසදා ගන්න හදන්නේ තවමත් නිහතමානීවයි. ඒත් සමහර අය මේ ප‍්‍රශ්නය දිගින් දිගටම ගිනියන්න උත්සහ කරනවා. මෙතනදී සියයට අනූ නමයක් ජනතාව ඉන්නේ සිරිධම්ම හාමුදුරුවන් එක්කයි.
අපි අතර මත ගැටුමක් නැහැ. සමහරු සිරිධම්ම හාමුදුරුවන් සහ ගැමියන් බේද වෙලා කියා විවිධ දේ ප‍්‍රචාරය කරනවා. අපි අතර මත ගැටුමක් තියෙනවා කියා කියනවා.
අපිට දේශපාලන න්‍යාය පත‍්‍රයක් නැහැ. අපිට තියෙන්නේ ඉල්ලීම් දෙකයි. එකක් මේ කම්හල තහඩු කෑල්ලක් වත් ඉතුරු කරන්නේ නැතිව මෙතනින් ගලවාගෙන යන්න. අනිත් එක අපි ඔක්කොටම වතුර දෙන්න ඕනේ සාධාරනව මූලික ගෙවීමකින් තොරව.
අපි රජයට පාඩු වෙන වැඩ කියන්නේ නැහැ වගේම රජයට කරන්න බැරි දේවල් කියන්නේත් නැහැ.
අපේ තියෙන්නේ සාදාරන ඉල්ලීමක්. මේ විෂ මේ මහ පොලවට මුසු වුනේ මේ කර්මාන්ත ශාලාව නිසා විතරක් නෙමෙයි රාජ්‍ය ආයතන අවුරුදු 20 ක් තිස්සේ හරියටම ක‍්‍රියාත්මක වුනේ නැති නිසයි.
මේක හරියට විසදලා තීන්දුවක් දෙනකම් ජනතාව ඉන්නවා ඇහැ ගහගෙන. අපිට දවසක් හරි වතුර බොන්න නැති කලොත් අපි ආයේ පෙර තත්වයටම පත් වෙනවා. ඒක වලක්වන්න බැහැ.
දැන් දැන් වතුර ටැංකි වලට කලට වෙලාවට වතුර දාන්නේ නැහැ. ඒ නිසා ටැංකි වල වතුර නැහැ. අපි කිලෝමිටර් දෙකක් විතර දුර ගිහින් බොන්න වතුර අරගෙන එනවා.
අපිට ආණ්ඩු පෙරලන්නවත් රජය අපහසුතාවයට පත් කරන්නවත් කිසිම අවශ්‍යතාවයක් නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. අපි ඉල්ලන්නේ කම්හාල වහලා අපිට වතුර ටික දෙන්න.
ඌරුවල ඈන් ප‍්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවාය
දැන් ගම දෙකඩ කරන්න ගමේ මිනිස්සු කුලප්පු කරන්න කණ්ඩායමක් ඉන්නවා. ඒ අය මේක දේශපාලන පැත්තකට හරවා ගන්න දගලනවා. අපිට මෙතන කිසිම දේශපාලනයක් නැහැ. අපිත් ඡන්දය දුන්නේ මේ ආන්ඩුවට තමයි.
අපේ අනාගත දරුවෝ ලෙඞ්ඩු නොකර ඔවුන්ට ජීවත් වෙන්න වතුර ටික ඉක්මනින් දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.
මම ඉන්නේ අතුරු පාරක. ඌරුවල පිලිගුත්තුව ප‍්‍රධාන පාරේ සිට මීටර් දෙසීයක් පමණ ඇතුලට. අපේ අතුරු පාරේ ගෙවල් හයක් පමණ තියෙනවා. අපිට ටැංකියක් තියලත් නැහැ වතුර ගන්න බට ඇදලත් නැහැ. සභාවේ පන්සල ලගට විතරක් බට ලයින් එක ඇදලා තියෙනවා.
මෙහෙම ඉබි ගමනින් ගිහින් හරියන්නේ නැහැ. දැන් මාස දෙකකටත් කිට්ටුයි. මේ කාලය හොදටම ප‍්‍රමාණවත් නිලධාරීන් හරියට වැඩ කළා නම් මේ ප‍්‍රශ්ණය විසදන්න‘.
සිව්රලූ මුල්ලේ ප‍්‍රියන්ත පෙරේරා මහතා මෙසේ පැවසුවේය
‘දැන් මේ බට ලයින් එක ඇදලා තියෙන්නේ සභාවේ පන්සල ගාවටයි එතනින් කඳුවත්තේ ඉදලා කල්යාණි මාවතේ මගක් දුරට ඇදලා තියෙනවා. මම දැනුවත්ව ඇවිල්ලා තියෙන්නේ එච්චරමයි. අපේ ගේ ගාව ටැංකියක් තියලා තියෙනවා දැන් දවස් හතරක ඉදලා වතුර නැහැ.
අද ට‍්‍රැක්ටරය යනකොට මම කිව්වා වතුර ගහන්න කියලා. එතකොට ඔවුන් කිව්වේ බව්සරයෙන් වතුර ගහන්නේ කියලා වතුර ගැහැව්වේ නැහැ. මේ වෙනකම් වතුර නැහැ.