රතුපස්වල කම්හල ආයෝජන කලාපයට


වැලිවේරියේ රතුපස්වල නැදුන්ගමුවේ වෙනිග්‍රොස් අත්වැසුම් කම්හල මුල් කරගෙන හටගත් කලබලයෙන් දෙසතියකට පසු රජයේ විසඳුම මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රකාශයට පත් කරයි.

වැලිවේරිය ගැටුමෙන් ජීවත තුනක් අහිමි විය.

රතුපස්වල පදිංචිකරුවන් හා කම්හලේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී පහත සඳහන් තීරණවලට එළඹියේය.

1) ප්‍රදේශයේ මහජනයාට ආරක්ෂා කාරීව වතුර සැපයීමට මුල් තැන දීම.

2) රජයේ රස පරීක්ෂක ජලය ගැන පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත.

3) කම්හල වැරදි ආකාරයෙන් පවත්වාගෙන ගොස් ඇති බවට එම වාර්තාවෙන් ඔප්පු වුවහොත් වහා කම්හල වසා දැමීම.

4) කම්හල නීතී රීතිවලට අනුව ක්‍රියා කර ඇත්නම් එම කම්හල  ආයෝජන ප්‍රවාර්ධන කලාපයට ගෙන යාම සඳහා සාධාරණ කාල සීමාවක් ලබා දෙනු ඇත.

මහින්ද රාජපක්ෂ ජනපති එම සාකච්ඡාවේදී පැවසුවේ අනාගතයේදී කම්හල් ඉදි කිරීම ආයෝජන ප්‍රවර්ධන කලාපයට පමණක් සීමා කරන බවයි.

කම්හලේ ඉතිරි නිෂ්පාදන කර ගෙන යෑමට ඉඩ දීමට ප්‍රදේශවාසීන් එකඟත්වය පළ කළ බව ද වාර්තා වේ.

නීතිය අතට නොගෙන ක්‍රියා කරන ලෙස ජනපති මෙහිදී සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, ජල සම්පත් ඇමැති දිනේෂ් ගුණවර්ධන, සමාජ සුභසාධන ඇමැති ෆීලික්ස් පෙරේරා, ජනපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධරයෝ ද මේ රැස්වීමට සහභාගී වූහ.

රතුපස්වල ළිං ජලයේ ඇසිඩ් ඉහළ මට්ටමක පවතින බව කාර්මික තාක්ෂණ ආයතනයේදී තහවුරු වී ඇත.