රතුකුරුස නිලවරණයට එරෙහි ඉල්ලීම විසි කරයි


(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මහාසභා රැස්වීම සහ නිලවරණය පැවැත්වීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි එහි ජාතික ලේකම්වරයා සහ මධ්‍යම පාලක මණ්ඩලයේ සාමාජිකයින් සිව් දෙනෙකු කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ප්‍රතික්ෂේප කළේය.

අධිකරණයේ එකඟතාවයකට පැමිණි කරුණක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීමට හැකියාවක් නැතැයි පෙන්වා දෙමින් දිසා විනිසුරුවරයා අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

කොළඹ වෝටර්ස් ඒජ් හිදී හෙට දිනයේ (24) පැවැත්වීමට නියමිත රතුකුරුස සමාජයේ 2022 වර්ෂයට අදාළ මහා සභා රැස්වීම හා නිලවරණය පැවැත්වීම වළකාලන්නැයි ඉල්ලා එහි ජාතික ලේකම් නිමල් කුමාර මහතා සහ මධ්‍යම පාලක මණ්ඩලයේ සාමාජිකයින් සිව් දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී.

කොළඹ වෝටර්ස් ඒජ් හිදී හෙට දිනයේ (24) පැවැත්වීමට නියමිත රතුකුරුස සමාජයේ 2022 වර්ෂයට අදාළ මහා සභා රැස්වීම හා නිලවරණය පැවැත්වීම රතුකුරුස සමාජයේ ව්‍යවස්ථාවට පටහැනි බවත්, රතුකුරුස සමාජයේ නිලවරණය පැවැත්වීමට රතුකුරුස සමාජය හා සරත් කුමාර නමැත්තා කොළඹ දිසා අධිකරණයේදී ඇතිකරගෙන ඇති සමථය නීති නීතිවිරෝධී බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ එහෙයින් එම මහාසභා රැස්වීම සහ නිලවරණය පැවැත්වීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.