රත්මලානට ප්‍රවාහන විශ්වවිද්‍යාලයක්


(යොහාන් භාසුර)

රත්මලාන දුම්රිය වැඩබිම් පරිශ්‍රයේ දැනට පවත්වාගෙන යන ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානය රුසියා සහ බෙලාරුසියා ප්‍රවාහන විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබඳ එම රටවල විශ්වවිද්‍යාල බලධාරීන් සමග ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සාකච්ඡා කළේය.

රුසියාවේ සහ බෙලාරුසියා රාජ්‍යවල නිල සංචාරයක නිරත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම රටවල ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහාම උපාධි පිරිනැමීම සඳහා පවත්වාගෙන යන විශ්වවිද්‍යාලවල නිරීක්ෂණය කළේය.

එම රාජ්‍යවල පවතින ප්‍රවාහන විශ්වවිද්‍යාලවල දේශීය මෙන්ම විදේශීය සිසුන් ද විශාල ප්‍රමාණයක් ප්‍රවාහන විෂය සම්බන්ධ උපාධි පාඨමාලා හදාරන බව විශ්වවිද්‍යාල බලධාරීන් පෙන්වා දී තිබේ.

එමෙන්ම ප්‍රවාහන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව කටයුතු කිරීම සඳහා දෙපාර්ශවයෙන්ම නියෝජනය වන ද්විපාර්ශික කමිටුවක් පිහිටුවීමට ද එකඟතාවය පළ විය.

උසස් අධ්‍යාපනයට යොමුවන මෙරට සිසුන්ට මෙන්ම මාලදිවයින, නේපාලය ආදී අනෙකුත් දකුණු ආසියාතික රටවල සිසුන්ට ද ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව මෙමගින් සලසා දිය හැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

රුසියානු හා බෙලාරුස් ප්‍රවාහන විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්, අධ්‍යාපන බලධාරීන්, රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.