රත්නපුරේ අනතුරු වැලක්:12 ක් රෝහලට


(අජිත්ලාල් ශාන්තඋදය)

කොළඹ සිට රක්වාන බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටී කුරුවිට පුස්සැල්ල සල්ගහයට හන්දියේදි අද (26) දහවල්  සිදුවු අනතුරකින් මාර්ගයේ ගමන් කළ ගැබිනි මවක් ඇතුලු දොළොස් දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්‍ෂණ මහ රෝහලට ඇතුළත්කර ඇති බව කුරුවිට පොලීසිය කියයි.

 තුවාලකරුවන් අතරින් ගැබිනි මවක් ඇතුලු පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද රෝහල් ප්‍රකාශයෙක් සඳහන් කළේය.

අනතුර සිදුකළ රක්වාන දක්වා ගමන් ගන්නා පුද්ගලික බස් රථය වේගයෙන් පැමිණි බව ඇසින් දුටුවෝ පැවසූහ.

රැකියා ලක්‍ෂයේ සේවකයින් පිරිසක් රැගෙන ආ පුද්ගලික බස් රථයක් ඔවුන් බස්රථයෙන් බැස පුස්සැල්ල ග්‍රාම සංවර්ධන මධ්‍යස්ථායට ගිය පසු පාර අයිනේ රත්නපුර දෙසට මුහුණ ලා නවතා තිබී ඇත.

 එම බස් රථයට ඉදිරියෙන් යතුරුපැදි කිහිපයක් සහ වෑන් රථයක් ද නවත්වා තිබූන බව පොලීසිය පැවසුවේය.

වේගයෙන් ආ රක්වාන බසය නවතා තිබු පුද්ගලික බස් රථයේ පිටුපස ගැටීමෙන් පසු මගීන් නොසිටි එම බස් රථය ඉදිරියේ තිබු යතුරු පැදිවලද හැපී ඉදිරියේ නවතා තිබූ වෑන් රථයක පසුපස ගැටී නැවතී ඇත. වෑන් රථය සහ යතුරුපැදි අතරින් පයින්ගිය ප්‍රදේශයේ ගැබිනි මවක්  අනතුරින් බරපතල තුවාල ලබා ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

තුවාල ලැබූ සෙසු පිරිස කොළඹ සිට රක්වාන බලා යමින් තිබූ බස් රථයේ පැමිණි අයවෙති. අනතුර සිදුකළ බස්රථයේ රියදුරු කුරුවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගැටුණු බස් රථ ඇතුලු වාහන වලට දඩි අලාභ සිදුව ඇත. කුරුවිට පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.