රත්නපුර මාළු වෙළඳසැල් 3ක් වසාදමයි


(අප්සරා යෝසිත් විජේසූරිය)
 
පෑලියගොඩ තොග මාළු වෙළඳසැල්වලින් මාළු මිලදීගනු ලබන රත්නපුර ව්‍යාපාරිකයෙකුට සුළු උණ රෝගී තත්වයක් ඇතිවීම හේතුවෙන් රෝහල්ගත වූ පසු, රත්නපුර නගරයේ ඔහුගේ මාළු වෙළඳසැල සහ සුළු පරිමාණ මාළු වෙළඳසැල් 2ක් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත වසාදැමූ බව රත්නපුර මහ නගර සභාව පවසයි.
 
මෙම වෙළඳසැල් හිමියන් ද ඇතුළුව ඔවුන්ගේ ආශ්‍රිතයන් 50 කගේ පමණ අද(22) පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා සාම්පල ලබාගත්  බව මහ නගරසභා සෞඛ්‍ය අංශ පවසයි.

මෙසේ ලබාගත් පී.සී.ආර්. පරීක්‍ෂණ සාම්පල වාර්තා අනුව  කොරෝනා ආසාදිතයන් බවට  තහවුරුවන පුද්ගලයන් සිටියහොත් රත්නපුර නාගරික බලප්‍රදේශයේ මහජන සෞඛ්‍ය සුරක්‍ෂිතාවයට පිණිස සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි මාළු වෙළඳසැල් වසාදැමීම හෝ ඒ පිළිබඳව ගතයුතු වෙනත් ක්‍රියාමාර්ගයන් එළඹෙන බව නාගරික කොමසාරිස් චිත්‍රා මානෙල් කෝට්ටවත්ත මහත්මිය පැවසුවාය.
 
රත්නපුර මහ රෝහලේ කොරෝනා ආසාධිත බවට සැකසහිත, පුද්ගලයන් රඳවන වාට්ටුවෙහි සිටින එම ව්‍යාපාරිකයා මේවනවිට පී.සී.ආර්. පරීක්‍ෂණයට යොමුව ඇතිබව රෝහල් ආරංචි මාර්ග මාර්ග පවසයි.