රණවිරුවන්ට එරෙහිව නඩු අහන්න විදෙස් විනිසුරුවරුන් ගෙන්වන්නේ නෑ - ජනපති




අපගේ රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් පසුගියදා කරන ලද යෝජනාව තමා තරයේ ප‍්‍රතික්ෂේප කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි. මාතෘ භූමියේ නිදහස උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ විරෝදාර රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ගෞරවයත් වෙනුවෙන් තම ධූර කාලයේ වගකීමෙන් යුතුව පෙනී සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.
පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව එහිදී ති‍්‍රවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මුදල් පසුපස හඹා යන ඇතැම් රාජ්‍ය නොවන සංවිධානත්, පටු දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීම උදෙසා කටයුතු කරන විරුද්ධවාදී දේශපාලන බලවේගත් කුමන චෝදනා කළද මේ රටේ රණවිරුවන්ගේ ප‍්‍රධාන ආරක්ෂකයා තමා බවත් ඔවුන්ගේ ගෞරවයට හානිවන කිසිදු ආකාරයේ කි‍්‍රයාකාරකමකට තම ධූර කාලය තුළ ඉඩ නොලැබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.