රටට අවශ්‍ය මැද මාවතක්


(නිමල කොඩිතුවක්කු)

මැද මාවත හෙවත් සමාජ සාධාරණත්වය ස්ථාපිත කරන මිශ්‍ර ආර්ථික ක්‍රමවේදයකට රට යා යුතු බව රජයට අවධාරණය කරන්නේ යැයි යැයි විපක්ෂයේ පක්ෂ හමුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (8)පැවසීය.

පෞද්ගලික ව්‍යවසායකත්වය හා සමාජ වෙළෙඳපොළ ආර්ථිකය හරහා රට ඉදිරියට යා යුතු බවත් ඒ තුළින් රට ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

රටට පොදුවේ බලපෑම් සිදුකරන කාරණා සමබ්න්ධයෙන් පොදු එකගතාවයක් ඇතිකර ගැනීම අරමුණු කරගනිමින් පිහිටුවා ගත් විපක්ෂයේ පොදු එකමුතුවේ විධායක කමිටුව  පාර්ලිමේන්තුවේ දී ඊයේ රැස් වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

පොදුවේ ගත් කළ සමගි ජන බලවේගයේ ආර්ථික දැක්ම අනුව අන්තවාදී ධනවාදය, ලුම්පන් ධනවාදය සහ ගජමිතුරු ධනවාදය ප්‍රතික්ෂේප කරන බවත් ඊට අමතරව හැමදේම කළ යුත්තේ රාජ්‍ය බවට වන හා රජය ව්‍යාපාර කළ යුතුය යන මතය වන අන්ත සමාජවාදී මතයේ ද නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ අනුව දැනට රට ඇති විකල්පය වන්නේ මැද මාවත හෙවත් තුන්වැනි මාවත බවත් ඒ විකල්පය තුළ රටක ධන උත්පාදනය සඳහා පෞද්ගලික ව්‍යවසායකත්වය, සමාජ වෙළෙඳපොළ ආර්ථිකය සහ ඉල්ලුම සැපයුම ආදී අන්ත බහුතරයක් පෞද්ගලික ව්‍යවසායකත්වට සිදු කළ හැකි නමුත් එම උත්පාදනය කළ ධනය ජන සමාජයේ බෙදා හැරීම පෞද්ගලික ව්‍යවසායකත්වයට සිදු කළ නොහැකි බවත් ඒ සඳහා සමාජ සාධාරණත්වය අනුව සම්පත් බෙදී යාමට රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය බවත් ඔහු පැවසීය.

සමගි ජන බලවේගය සිටින්නේ මැද මාවතේ ආර්ථීක දැක්ම තුළ බවත් එහි දී මුදල් උත්පාදනය කිරීමට රජයකට පමණක් සිදු කළ නොහැකි නිසා මානුෂීය ධනවාදයක් අවශ්‍ය බවත් එය සර්ව සාධාරණ විය යුතු බවත් ඒ තුළින් සැවොම ජය ගත යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මහබැංකු පනත වැනි විශේෂ කරුණු ගැන කමිටු හරහා සාකච්ඡා කරන විට මේ මැද මාවත හෙවත් සමාජ සාධාරණත්වය ස්ථාපිත කරන මිශ්‍ර ආර්ථික ක්‍රමවේදයකට යා යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.

මෙම සාකච්ඡා සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී එල් පීරිස්, එම් . ඒ සුමන්තිරන්,  රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බකීර් මාකර්, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, ගජේන්ද්‍ර පොන්නම්බලම්, දයාසිරි ජයසේකර, ගෙවිදු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු එක්ව සිටියහ.