(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සහල් ආනයනය නතර කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 28 වැනිදා රැස්විය.
මේ තීරණය දැනුම්දී ඇත්තේ එම රැස්වීමේදීය. මේ අතර වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට ලබාදීමට නියමිත රුපියල් කෝටි 500ක මුදල ඵලදායී ලෙස යෙදවීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බව කාරක සභා සභාපතිවරයා දැනුම් දුන්නේය.
ජාතික විගණන කාර්යාලයේ 2025 වාර්ෂික කාර්ය සාධන වැඩසටහන අධ්‍යයනය කරමින් එම වැඩසටහන තවදුරටත් ඵලදායි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර වාර්තා සැකසීමට අනුකමිටුවක් පත් කිරීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මෙහිදී තීරණය කර ඇත. රටේ සියලු වත්කම් පිළිබඳ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීම සඳහා ඒ සම්බන්ධව කටයුතු කරන සියලු නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවීමටද තීරණය කර ඇත.
2024 මහා කන්නයේ සහල් අස්වනු ප්‍රමාණය පිළිබඳව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට ඉදිරිපත් කළ දත්ත නිවැරදි නොවීම පිළිබඳව ද කාරක සභා සභාපතිවරයා මෙහිදී විමසා සිටියේය. එය සන්නිවේදනයේදී සිදුවූ අතපසුවීමක් බව කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.